උරුමක්කාරයින් සුපුරුදු ලෙස ගෙදර යයි; ක්‍රොඒෂියාව ඉතිහාසගත වෙයි

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය

1345

1996 වසරෙන් පසු නැවත ලෝක කුසලානයක් ජයගැනීම අරමුණු කරගත් පාපන්දු ක්‍රීඩාවේ උරුමක්කාරයින් වූ එංගලන්තය හා පළමු වරට ලෝක කුසලානයක පහස සොයා යන පෙරළිකාර ක්‍රෝඒශියාව ඊයේ (11දා) 2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගයට සහභාගී වූ අතර ගෝල 2-1ක් ලෙස අමතර කාලයේදී ගෝලයක් වාර්තා කරමින් එංගලන්තය නැවත වරක් හිස් අතින් ගෙදර යවන්නට පෙරළිකාර ක්‍රෝඒශියාව සමත්විය.

මොස්කව් හි Luzhniki ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වුණු අතර ක්‍රෝඒශියාවේ සවර්ණමය පරම්පරාව හෙවත් වත්මන් ක්‍රෝඒශියා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට අවසන් මහා තරගයක අසුනක් ක්‍රෝඒශියාවට වෙන් කරන්නට සමත්විය.

ඒ අනුව ලබන ඉරිදා ක්‍රෝඒශියානු කණ්ඩායම ප්‍රංශ කණ්ඩායම සමගින් 2018 FIFA ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙන අතර තෙවන ස්ථානය සඳහා සෙනසුරාදා බෙල්ජියම හා එංගලන්තය තරග වදිනු ඇත.

තරගයේ පළමු අර්ධය සම්පුර්ණයෙන්ම එංගලන්ත ක්‍රීඩකයින් සිය ග්‍රහණයට ගත් අතර ක්‍රෝඒශියානු සුපිරි ක්‍රීඩක ලුකා මොඩ්රික් හට සිය සුපුරුදු රිද්මයට මැද පෙළ මෙහෙයවන්නට ඔවුන් ඉඩකඩ ලබාදුන්නෙම නැත.නමුත් අත්දැකීම් බහුල, ඉතා ඉවසීමෙන් ක්‍රීඩා කරන ක්‍රෝඒශියානුවෝ දෙවන අර්ධයේ සිට තරගය නිම වනතෙක්ම තරගය අත් හැරියේ නැත.

එංගලන්ත ක්‍රීඩකයින්ට මෙන්ම එංගලන්ත ප්‍රේක්ෂකයින්ටද සතුටුදායක ආරම්භයක් ලබා දෙමින් 5 වන මිනිත්තුවේදී එංගලන්තයට නිදහස් පහරක් හිමිවිය.

යොවුන් එංගලන්ත ක්‍රීඩක TRIPPIER එම නිදහස් පහර ලබාගත් අතර විශිෂ්ඨ ප්‍රහාරයකින් කවාකාරව යමින්ම ඉහළ නැගුනු පන්දුව ක්‍රෝඒශියානු ආරක්ෂක බිත්තිය පසු කළ වහාම පහළ බැසීම ආරම්භ කර ගෝල රාමුවේ ඉහළ කොනෙන් දැල තුලට ගියේ එංගලන්තයට නොසිතු මායාකාරී ආරම්භයක් ලබා දෙමිනි.

TRIPPIER සිය මංගල ජාත්‍යන්තර ගෝලය වාර්තා කිරීමට තෝරාගත්තේ එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය අවශ්‍යම වූ තරගයක් වීම විශේෂත්වයක් විය

 

TRIPPIER ගෝලයෙන් ජවය ලැබූ එංගලන්ත ක්‍රීඩකයෝ ක්‍රෝඒශියානු ක්‍රීඩකයින් අන්ද මන්ද කරමින් දිගින් දිගටම ආක්‍රමණයේ නිරතවුණු අතර 13 වන මිනිත්තුවේදී STERLING හට ඉතා ආසන්න අවස්ථාවක් ගිලිහිණි.

අනතුරුව 29 වන මිනිත්තුවේදී ක්‍රෝඒෂියානු ආරක්ෂක වළල්ල මගහරිමින් ඉතා ආසන්න උදා කරගැනීමට එංගලන්ත නායක හැරී කේන් සමත්වූ නමුත් Danijel Subasic බෙල්ජියම් ගෝල රකින්නා හැරී කේන් ගේ දුර්වල උත්සාහය පහසුවෙන් ව්‍යර්ථ කිරීමට සමත්වුයේ නිසැක ගෝලයක් එංගලන්තයෙන් උදුරා ගනිමිනි.

ඒ ඉතාම ආසන්න අවස්ථාව තරගයේ ප්‍රතිඵලයට බලපානු ඇතැයි ඒ මොහොතේ ඔහු නොසිතන්නට ඇත

 

31 වන මිනිත්තුවේදී ක්‍රෝඒෂියානු උත්සහයක් එංගලන්ත දැල් රකින්නා වැළක්වූයේ ක්‍රෝඒෂියානු කණ්ඩායම තවත් පීඩනයේ හෙළමිනි.

පළමු අර්ධය : එංගලන්තය 1-0 ක්‍රෝඒශියාව

දෙවන අර්ධයේ පළමු ම්නිත්තුවේ සිටම තරගය උඩුයටිකුරු කළ ක්‍රෝඒෂියානු ක්‍රීඩකයින් ඉතා ශාරීරික ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ අතර ඒ නිසාම වරින් වර ක්‍රීඩකයින් අතර ඉතා උණුසුම් තත්වයන්ද ඇතිවිය.

කෙමෙන් කෙමෙන් ක්‍රෝඒශියානුවන් සිය රිද්මයට පිවිසුණු අතර 64 වන මිනිත්තුවේදී Ivan Perisic හට හිමිවූ අවස්ථාවක් දශමයෙන් අපතේ ගියේය.

කෙසේ වෙතත් Sime Vrsaljko ගේ අතිදක්ෂ පන්දු යොමු කිරීමකින් පැමිණි පන්දුව ගුවනේ පාවිගිය Ivan Perisic ගුවනේදීම සිය පාදයෙන් දැල් වෙත යොමු කළේ එංගලන්ත ආරක්ෂක ක්‍රීඩක Kyle Walker මැඩලමින්ය.මිනිත්තු 68 කට පසුව එම ගෝලය වාර්තා වූ අතර ඉන් පසු ක්‍රෝඒෂියානු ක්‍රීඩකයින් වඩා විශ්වාසයෙන් මනා සංවිධානාත්මකව ක්‍රීඩා කළේ එංගලන්ත ක්‍රීඩකයින්ට යලිත් කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනි.

Perisic නිහඬව සිටි ක්‍රෝඒෂියානු ප්‍රේක්ෂකයින්ට නව ජවයක් ගෙන ඒමට සමත්විය

 

නැවත වතාවක් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වූ Perisic තවත් ප්‍රහාරයක් දියත් කළ අතර මේ වතාවේ PICKFORD හට රැක ගැනීමට නොහැකි වූවත් අවාසනාවන්ත ලෙස පන්දුව ගෝල රාමුවේ වැදී ඉවත ගියේ තරගයේ පෙරමුණ ගැනීමට ක්‍රෝඒශියාවට හිමිවූ නිසැක අවස්ථාවක් ඔවුන්ට නූලෙන් අහිමි කරමිනි.

රුසියාව සමග තරගයේදීද Perisic ප්‍රහාරයක් මෙලෙසම ගෝල රාමුවේ වැදී ඉවත ගියේය

අනතුරුව තරගයේ නියමිත කාලයේ අවසාන මිනිත්තුවේ එංගලන්තයට නිදහස් පහරක් හිමිවුවද එය සාර්ථක කරගැනීමට ඔවුන් සමත්වූයේ නැත.

නියමිත කාලය අවසානයේ එංගලන්තය 1-1 ක්‍රෝඒශියාව

අතිරේක කාලය සඳහා තරගය රැගෙන යාමට විනිසුරු තීරණය කළ අතර අතිරේක කාලය පළමු භාගයේ දෙවන අර්ධයේ පසු පාදයේ සිටි එංගලන්ත ක්‍රීඩකයෝ මඳක් ඉදිරියට පැමිණ ආක්‍රමණශීලිව ක්‍රීඩා කරනු දක්නට ලැබුණි.

98 වන මිනිත්තුවේ එංගලන්තයට හිමිවූ නිදහස් පහරකින් පැමිණි පන්දුව STONES විසින් දැල් රකින්නා මග හරිමින් ගෝල රාමුව තුලට යොමු කළත් Sime Vrsaljko දැල ඉදිරිපිට නොසැලී රැඳී සිටිමින් පන්දුව හිසෙන් ගෝල රාමුවෙන් ඉවතටයොමු කරන්නට සමත්විය.

ගෝලයකට සහය දුන් Vrsaljko මෙවර දැල් රකින්නාට සහය දුන්නේය

 

105 වන මිනිත්තුවේදී ක්‍රෝඒෂියානු මැද පෙළ ක්‍රීඩකයෙකුගේ දක්ෂ දිගු පන්දු යොමු කිරීමක් නිසා Mario Mandzukic ටගෝලයක් සඳහා අනගි අවස්ථාවක් හිමිවූ අතර ඔහුගේ ප්‍රහාරයක් දක්ෂ ලෙස වළක්වන්නට එංගලන්ත දැල් රකින්නා Jordan Pickford සමත්වූයේ එංගලන්ත ප්‍රේක්ෂකයින් ගේ හදවත් මොහොතකට නතර කරමිනි.

Pickford තරගාවලිය පුරා සෑහෙන වතාවක් එංගලන්තය ගලවා ගැනීමට සමත්විය

අමතර කාලයේ පළමු අර්ධය අවසානයේ එංගලන්තය 1-1 ක්‍රෝඒෂියාව  

අමතර කාලයේ දෙවන අර්ධයේ ක්‍රෝඒෂියානු ක්‍රීඩකයින් ආක්‍රමණයක් දියත් කළ අතර 109 වන මිනිත්තුවේදී එංගලන්ත ආරක්ෂක ක්‍රීඩකයෙකු ගේ හිසේ වැදුණු පන්දුව චතුරශ්‍රය මධ්‍යයේ ඉහල ගිය අතර ක්‍රෝඒෂියානු ක්‍රීඩකයෙකු පන්දුව හිසෙන් Mario Mandzukic වෙත ලබාදුන් අතර ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඔහු PICKFORD පසු කරමින් පන්දුව දැල තුලට යැව්වේ මංගල ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රෝඒශියාව රැගෙන යමිනි.

Mario Mandzukic ක්‍රෝඒෂියානු පාපන්දු ඉතිහාසයේ අමරණිය ගෝලයක් වාර්තා කළේය

 

එංගලන්තය වෙනුවෙන් ගෝලයක් රැස් කළ Kieran Trippier අබාධයකට ලක්වී පිටියෙන් ඉවත් වුයේ එංගලන්තය කබලෙන් ලිපට ඇද දමමිනි.

තරගය අවසානයට මොහොතකට පෙර එංගලන්තයට නිදහස් පහරක් හිමිවූ නමුත් එම නිදහස් පහර අපතේ ගියේ ක්‍රෝඒශියාවට සිය මංගල ලෝක කුසලාන අවසාන මහා තරගයේ දොරගුළු විවර කරමිනි.

අවසන් ලකුණු තත්වය එංගලන්තය 1-2 ක්‍රෝඒශියාව

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

එංගලන්තය – Kieran Trippier 5’

ක්‍රෝඒශියාව – Mario Mandzukic 109’, Perisic 68’   

[/vc_column_text][/vc_column][/vc_row]