කඳුළු අතරට සිනහවක් ගෙන ආ මීගමු වීරවරිය

169

පසුගිය වසරේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පීඩා විදි ශ්‍රී ලාංකික ජනතාවගේ සිතට යම් සැනසුමක් සතුටත් ගෙන එමින් 2019 ආසියානු මලල ක්‍රීඩා උළෙලේ දී තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ ඇය නමින් විදූෂා ලක්ෂාණිය.

1996 දෙසැම්බර් මාසයේ මීගමුවේ දී උපත ලැබූ විදූෂා ලක්ෂාණි මීගමුව නිව්ස්ටඩ් විද්‍යාලයෙන් සිය මලල ක්‍රීඩා හැකියාවන් වැඩි දියුණු කරගන්නා අතර ඇය තුළ පැවති දැඩි කැපවීම නිසාවෙන් ඉතා ඉක්මනින්ම තුන් පිම්ම ඉසව්වේ ඉහළ දස්කම් දක්වමින් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට ඇයට හැකි විය.

මෙවර Photo Story ලිපිය වෙන්වන්නේ අභියෝග රැසකට හැකියාවෙන් පිළිතුරු දෙමින් විදූෂා මෙතෙක් ආ ගමනේ දී කැමරා කාචයේ සටහන් වූ සේයා රූ කිහිපයක් වෙනුවෙනි.

  1. පාසල් වියේ සිටම ඉහළ දස්කම් 

පාසල් වියේ සිටම තුන් පිම්ම ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දැක්වූ විදූෂා 2014 වසරේ පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

2. යොවුන් වියේ දී ම දේශීය පිටිය ආක්‍රමණය කිරීම 

වයස අවුරුදු 19 වන විටම ශ්‍රී ලංකාවේ තුන් පිම්ම පැනීමේ ජාතික ශූරිය වීමට සමත් වූ විදූෂා 2015 වසරේ දී දෙවතාවක්ම තුන් පිම්ම ඉසව්වේ ජාතික වාර්තාව බිඳ හෙලීමට සමත් විය (මීටර් 13.22 සහ මීටර් 13.49). 

3. කනිෂ්ඨ වාර්තාවක් බිඳ හෙලීම 

ජාතික වාර්තාව පිහිටවීමෙන් පසු 2016 වසරේ පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ වයස අවුරුදු 23න් පහළ කාන්තා තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ විදූෂා මීටර් 13.34ක දස්කමක් දක්වමින් තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

4. සිය වාර්තාව නැවත වරක් බිඳ හෙලීම 

2017 වසරේ පැවති ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා සංචිත තේරීම් තරගාවලියේ කාන්තා තුන් පිම්ම ඉසව්වේ මීටර් 13.64ක දස්කමක් පෙන්නුම් කිරීමට සමත් වූ විදූෂා ඇය විසින්ම පිහිටුවා තිබූ ජාතික වාර්තාව නැවත වරක් ලියවීමට සමත් විය.

5. අස්වැසිල්ලක් ගෙනා ආසියානු පදක්කම 

2019 වසරේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී තුන් පිම්ම ඉසව්ව සඳහා සහභාගි වූ විදූෂා එම තරගයේ මීටර් 13.53ක දස්කමක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් සිත් තැවුලට පත් වූ ජනතාවගේ සිතට යම් සතුටක් එක් කරමිනි.

6. රණවිරු පිටියේ දස්කම් 

යුද හමුදා මලල ක්‍රීඩා සංචිතයේ සාමාජිකාවක් ද වූ විදූෂා 2018 වසරේ පැවති යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ දී තුන් පිම්ම ඉසව්වේ මීටර් 13.60ක දස්කමක් දක්වමින් තරගාවලි වාර්තාව බිඳ හෙලීමට සමත් විය.

7. දුර පැනීමේ ඉසව්වත් ආක්‍රමණය කිරීම 

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තේරීම සඳහා පැවති 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.23ක දස්කමක් දැක්වීමට සමත් වූ විදූෂා එම ඉසව්වේ ජාතික කිරුළ දිනා ගැනීමට සමත් විය.

8. වාර්තාවන් නැවත ලියමින් කිරුළ රැකගැනීම 

97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ තුන් පිම්ම ඉසව්වට සහභාගී වූ විදූෂා එම තරගයේ දී මීටර් 13.66ක දස්කමක් පෙන්නුම් කරමින් ඇය විසින්ම පිහිටුවා තිබූ ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් විය.

9. බාධක මැද දිනූ දකුණු ආසියානු පදක්කම 

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ විදූෂා ආබාධයක් නිසාවෙන් සහ උණ රෝගයට ගොදුරු වීම නිසාවෙන් ඇයට සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි වූ නමුත් තුන් පිම්ම ඉසව්වේ මීටර් 13.14 දස්කමක් දක්වමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

ක්‍රීඩා දිවිය ආරම්භයේ සිටම පැමිණි දහසක් අභියෝගවලට ඉතා සාර්ථකව මුහුණ දුන් විදූෂා මෙරට මලල ක්‍රීඩාවට විශාල සේවාවක් කළ හැකි දැඩි කැපවීමකින් යුත් ධෛර්යවන්ත ක්‍රීඩිකාවකි. ක්‍රීඩා දිවියේ දී ඇයට පැමිණෙන බාධා සියල්ල ජය ගනිමින් මලල ක්‍රීඩාවේ ඉහළටම යෑමට ඇයට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරන්නෙමු.

තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<