කොළඹ ශූරතාව දිනා ගනිද්දී කැළණිය, මොරටුව 2 සහ 3ට

1188
SLUG19

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ රග්බි තරගවල ඊයේ (10) අවසන් තරගය හා තුන්වැනි ස්ථානය සඳහා වන තරගය පැවැත්විය. අවසන් තරගය ලකුණු 39-00ක් ලෙස ජයග්‍රහණය කළ කොළඹ කණ්ඩායම මෙවර විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළේ රග්බි ශූරයන් වීමට සමත් විය. අනුශූරතාව කැළණිය විශ්වවිද්‍යාලය සතු විය. මෙම තරග කොග්ගල BOI ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 

අවසන් තරගය සඳහා කොළඹ විශ්වවිද්‍යාලය හා කැළණිය විශ්වවිද්‍යාලය තරග වැදුණේ මෑත ඉතිහාසයේ සුදුසුකම් ලැබූ සුපුරුදු කණ්ඩායම් දෙක වන පේරාදෙණිය හා මොරටුව කණ්ඩායම් තුන්වැනි ස්ථානය සඳහා වන තරගයට අවතීර්ණ කරමිනි. 

කොළඹ හා කැළණිය සුපුරුදු ශූරයන්ගේ බලාපොරොත්තු බිඳ දමයි

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ රග්බි තරගවල අර්ධ අවසන් පූර්ව වටයේ තරග පසුගිය සතියේ පැවති අතර එම තරගවලින්….

අවසන් තරගය – කොළඹ විශ්වවිද්‍යාලය හා කැළණිය විශ්වවිද්‍යාලය

කොළඹ කණ්ඩායම තරගාවලියේ පළමු වටයේ දී C කාණ්ඩය යටතේ තරග වැදුණු අතර එම කාණ්ඩයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ රජරට කණ්ඩායම හා යාපනය කණ්ඩායමයි. තම පළමු තරගයේ දී ම ලකුණු 60 සීමාව පසුකර යාමට කොළඹ කණ්ඩායම සමත් වන්නේ ජයග්‍රාහී ගමනක පෙරනිමිති පහල කරමිනි. 

රජරට විශ්වවිද්‍යාලය ලකුණු 64-05ක් ලෙස පරාජය කරන ඔවුන් දෙවන තරගයේ දී යාපනය කණ්ඩායම ලකුණු 46-05ක් ලෙස පරාජය කිරීමට සමත් විය. ඔවුන් කාණ්ඩ වටයේ ප්‍රථමයා ලෙස තරගාවලිය නිමා කරන අතර එම කාණ්ඩයේ දෙවන ස්ථානය යාපනය කණ්ඩායමට හිමි විය. 

අර්ධ අවසන් පූර්ව වටය සඳහා කොළඹ කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයි. එම තරගය ලකුණු 41-06ක් ලෙස පහසුවෙන් පරාජය කරන කොළඹ කණ්ඩායම අවසන් පූර්ව වටයේ තම අසුන වෙන්කර ගන්නා ලදි. 

අවසන් පූර්ව වටයේ දී කොළඹ කණ්ඩායම හමුවේ ප්‍රබල අභියෝගයක් පැවති අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාල මෑත කාලීන විශ්වවිද්‍යාල රග්බි තරගාවලිවල අවසන් තරගයේ නිත්‍ය සාමාජිකයෙකු වීම එයට හේතුවයි. 

කෙසේ වෙතත් පසුගිය සතියේ පැවති අවසන් පූර්ව තරගයේ දී කොළඹ කණ්ඩායම පේරාදෙණියට එල්ල කරන ප්‍රහාරය හමුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අවසන් තරගය මගහැරී ගියේය. කොළඹ විශ්වවිද්‍යාලය ලකුණු 36-14ක් ලෙස තරගය ජයග්‍රහණය කරන ලදි. 

කැළණිය විශ්වවිද්‍යාලය අවසන් තරගය සඳහා අනෙක් අන්තයෙන් සුදුසුකම් ලැබූ අතර මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම ලෙස ඔවුන්ව හැදින්වීම අතිශයෝක්තියක් නොවේ. 

පළමු වටයේ දී D කාණ්ඩයේ තරග වැදුණු ඔවුන් පළමු තරගයේ දී අග්නිදිග විශ්වවිද්‍යාල කණ්ඩායම ලකුණු 52-00ක් ලෙස පරාජය කළ අතර දෙවන තරගයේ දී වයඹ කණ්ඩායම ලකුණු 31-05ක් ලෙස පරාජය කිරීමට ද සමත් විය. 

අර්ධ අවසන් පූර්ව වටයේ දී තම ප්‍රතිවාදී රුහුණ කණ්ඩායම ලකුණු 27-12ක් ලෙස පරාජය කළ කැළණිය කණ්ඩායම අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. අවසන් පූර්ව වටය සඳහා කැළණිය කණ්ඩායම හා මොරටුව කණ්ඩායම තරග වැදුණු අතර මොරටුව කණ්ඩායම පසුගිය තරගාවලි රැසක දී ම පේරාදෙණිය කණ්ඩායම හා අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා තිබීම කැළණිය කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය. 

කෙසේ වෙතත් එම අභියෝගය සාර්ථකව ජයග්‍රහණය කළ කැළණිය කණ්ඩායම තරගාවලියේ වඩාත්ම කතාබහට ලක්වූ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. ඔවුන් මොරටුව කණ්ඩායම පරාජය කිරීමට සමත් වූයේ ලකුණු 23-15ක් ලෙසිනි. 

මොරටුව, පේරාදෙණිය, කොළඹ හා කැළණිය අවසන් පූර්ව වටයට

2019 විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ රග්බි තරගවල අර්ධ අවසන් පූර්ව වටය පසුගිය දා ආරම්භ වූ අතර ඒ සඳහා කාණ්ඩ වටයේ….

සති 5ක අසීරු ගමන් මගක අවසන් තරගය සඳහා කොළඹ කණ්ඩායම හා කැළණිය කණ්ඩායම තරග වැදුණේ වර්ෂාව බාධාවක් කර නොකර ගනිමිනි. තරගයේ ආරම්භයේ පටන් ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ කොළඹ කණ්ඩායම ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ උත්සාහක දිනුමක් හා සාර්ථක ප්‍රවර්තනයක් සමඟිනි. 

තරගයේ මුල් මිනිත්තු කීපයේ දී තමන්ට ගිලිහී ගිය රිද්මය නැවත ලබා ගැනීමට කැළණිය කණ්ඩායම ගත් උත්සාහය එතරම් සාර්ථක නොවූ අතර කොළඹ කණ්ඩායම ඉන් උපරිම ප්‍රයෝජනය ගනිමින් පළමු අර්ධය නිමා වීමට පෙර තවත් උත්සාහක දිනුම් තුනක් වාර්තා කළේ කැළණිය කණ්ඩායමට එක් ලකුණක් හෝ ලබා ගැනීමට අවස්ථාව ලබා නොදෙමිනි. 

පළමු අර්ධය: කොළඹ විශ්වවිද්‍යාලය 22 – 00 කැළණිය විශ්වවිද්‍යාලය 

ප්‍රබල ලකුණු 22ක පරතරය හඹා යාමේ අරමුණින් දෙවන වටය ආරම්භ කළ කැළණිය කණ්ඩායමට සාර්ථක වීමට කොළඹ කණ්ඩායම කිසිදු අවස්ථාවක් ලබා නොදුන් අතර පළමු අර්ධයේ දී තමන් ලබා ගත් රිද්මය එලෙසම පවත්වා ගනිමින් තරගාවලියේ ශූරතාව හඹා යාමට කොළඹ කණ්ඩායම සමත් විය. 

තරගයේ දෙවන අර්ධය අවසන් වන විට ඔවුන් ලකුණු පුවරුවේ ලකුණු 39ක් සටහන් කර ගත් අතර කැළණිය කණ්ඩායම එක් ලකුණක් හෝ වාර්තා කර තිබුණේ නැත. 

ඒ සමඟින් 13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ රග්බි කිරුළ තමන් සතුකර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය. අනුශූරතාව කැළණිය විශ්වවිද්‍යාලයට හිමි විය. 

අවසන් ලකුණු තත්ත්වය: කොළඹ විශ්වවිද්‍යාලය 39 – 00 කැළණිය විශ්වවිද්‍යාලය

තුන්වැනි ස්ථානය සඳහා වන තරගය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය

තරගාවලිය ආරම්භ වීමට පෙර අවසන් තරගය විය හැකි යැයි බොහෝ දෙනෙක් අනුමාන කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය අතර තරගය තුන්වැනි ස්ථානය සඳහා වන තරගය බවට පත්කිරීමට පසුගිය සතියේ අවසන් පූර්ව තරගවල දී කොළඹ කණ්ඩායම හා කැළණිය කණ්ඩායම සමත් විය. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තරගාවලියේ B කාණ්ඩය යටතේ තරගාවලිය ආරම්භ කළ අතර පළමු තරගයේ දී ඔවුන් රුහුණ විශ්වවිද්‍යාලය ලකුණු 31-05ක් ලෙස පරාජය කිරීමට සමත් විය. දෙවන තරගයේ දී ඌව කණ්ඩායමට එරෙහිව ලකුණු 36-08ක් ලෙස ජයග්‍රහණය කළ පේරාදෙණිය කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය සඳහා අපරාජිත කණ්ඩායමක් ලෙස පිවිසියේය. 

අර්ධ අවසන් පූර්ව වටයේ දී සබරගමුව විශ්වවිද්‍යාලය අතර පැවති තරගය නියමිත කාලය අවසන් වන විට ලකුණු 10-10ක් ලෙස සම තත්වයක පැවතීම නිසා දඬුවම් පහර මගින් තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීමට සිදු විය. 

එහි දී පේරාදෙණිය කණ්ඩායම දඬුවම් පහර 2-1ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි. අවසන් පූර්ව වටයේ දී කොළඹ කණ්ඩායම හමුවේ අනපේක්ෂිත ප්‍රහාරයකට ලක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායමට අවසන් තරගයේ බලාපොරොත්තු සුන්කර ගැනීමට සිදු විය. 

මොරටුව විශ්වවිද්‍යාලය පසුගිය වසරේ අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළේ රග්බි ශූරයන් ලෙස තරගාවලියට පිවිසි අතර ඔවුන් පළමු වටයේ A කාණ්ඩය යටතේ තරග වැදුණි. පළමු තරගය නැගෙනහිර කණ්ඩායම විසින් අවලංගු කිරීම නිසා මොරටුව කණ්ඩායමට ජයග්‍රහණය හිමි වූ අතර දෙවන තරගයේ දී ලකුණු 25-12ක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට මොරටුව කණ්ඩායම සමත් විය. 

යාපනය කණ්ඩායම ලකුණු 29-12ක් ලෙස එම තරග වටයේ දී පරාජය කළ මොරටුව කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය සඳහා කැළණිය කණ්ඩායම සමඟින් තරග වැදුණි. ප්‍රබල මොරටුව කණ්ඩායම සාර්ථකව මෙල්ල කිරීමට සමත් වන කැළණිය කණ්ඩායම ලකුණු 23-15ක් ලෙස මොරටුව කණ්ඩායම පරාජය කළේය. 

ඩෑන් කාටර් – මෙතෙක් ලොව බිහි වූ හොඳම අංක 10 ක්‍රීඩකයාගේ කතාව

ඩෑන් කාටර්ගේ ජීවිත කතාව ඇතුළත් ප්‍රලේඛන චිත්‍රපටයේ අවස්ථා කීපයක වීඩියෝවක් පසුගිය දා එළිදැක්වුනා.

තුන්වැනි ස්ථානය සඳහා වන තරගය පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය අතර පැවති අතර එහි දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ වගකීම බාර ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. 

ඉන් මිනිත්තු කීපයක් ඉක්ම යාමටත් පෙර එයට ප්‍රතිචාර දැක්වීමට මොරටුව කණ්ඩායම සමත් වූයේ උත්සාහක දිනුමක් හා සාර්ථක ප්‍රවර්තනයක් සමඟිනි. පළමු අර්ධය නිමා වන තුරු කණ්ඩායම් දෙකම ප්‍රබල සටනක නිරත වූ අතර වර්ෂාව නිසාවෙන් කණ්ඩායම් දෙකම පන්දු පාලනයේ දී සිදු කළ වැරදි නිසාවෙන් තරගය විටින් විට නැවැත්වීමට සිදු විය. 

පළමු අර්ධය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය 05 – 07 මොරටුව විශ්වවිද්‍යාල 

පළමු අර්ධයේ දී ලබා ගත් පන්නරය තරගය පුරා පවත්වා ගැනීමට මොරටුව කණ්ඩායම ප්‍රබල උත්සාහයක නිරත වූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය තම ලකුණු ලබා ගැනීමේ උත්සාහය අත්නොහරිමින් ක්‍රීඩා කළේය. කරට කර සටනකින් අනතුරුව තරගය නිමා වූයේ ලකුණු පුවරුවේ කිසිදු වෙනසක් සිදු නොකරමිනි. 

ඒ අනුව තරගය ජයග්‍රහණය කළ මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම මෙවර විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සිව්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. 

අවසන් ලකුණු තත්ත්වය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය 05 – 07 මොරටුව විශ්වවිද්‍යාලය 

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පැවැත්වෙන තරගවල සියලු තොරතුරු හා ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. ‍රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<