දෙවන ආසියානු කාන්තා 23න් පහළ වොලිබෝල් ශූරතාවලිය එළඹෙන මැයි 13 වැනිදා තායිලන්තයේ නාකොන් රචසිමා හිදී පැවැත්වේ. කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකාව එක්වන්නේ “C” කාණ්ඩයෙන් වන අතර කණ්ඩායම ලබන බදාදා (10) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

23න් පහළ පිරිමි වොලිබෝල් කණ්ඩායම සූදානම්!

ඉරානයේ ආඩබිල් නුවර දී ඇරඹීමට නියමිත ‘දෙවන ආසියානු 23න් පහළ වොලිබෝල් තරගාවලිය’ සඳහා..

A” සහ “B” කාණ්ඩවලට කණ්ඩායම් 3 බැගින් ඇතුළත් වන අතර “C” සහ “D” කාණ්ඩවලට කණ්ඩායම් 4 බැගින් ඇතුළත් වේ. “C” කාණ්ඩයේ දී ශ්‍රී ලංකාවට හමුවන අනෙකුත් ප්‍රතිවාදීන් වන්නේ චීන තායිපේ, කසකස්තානය සහ ඕස්ට්‍රේලියාවයි. ඒ, මින් පෙර පැවති තරගාවලියේ දී පිළිවෙළින් 5 වැනි සහ 9 වැනි ස්ථාන දිනා ගත් කණ්ඩායම් වේ. ඕස්ට්‍රේලියාවත්, ශ්‍රී ලංකාවත් තරගාවලියට එක්වන පළමු අවස්ථාව මෙයයි.

මෑත අතීතය  

ආසියානු වොලිබෝල් පිටියේ දී වැඩි දස්කම් පා ඇත්තේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම් වුවත් කාන්තා කණ්ඩායම්  සෑමවිටකම ආසියානු මට්ටමේ ඉහළම කණ්ඩායම් 10 අතරේ රැඳීමට වග බලාගෙන ඇත. 2014 වසරේ කනිෂ්ඨ ආසියානු වොලිබෝල් ශූරතාවලියේ දී ආසියාවේ පළමු කණ්ඩායම් 8 අතර රැඳුණු ශ්‍රී ලංකා කාන්තාවන් 2016 වසරේ ඉන්දියාවේ දී පැවති සාග් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් ගෙනවිත් දී ඇත.

පුහුණුව සහ පුහුණුකරුවන්

මාස 3කට ආසන්න කාලයක් ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පුහුණු සැසිවලට සහභාගී වූ කාන්තා 23න් පහළ කණ්ඩායම, එහි දී පුහුණු තරග 20කට පමණ සහභාගී වී ඇත. ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම සහ කාන්තා ක්‍රීඩා සමාජ කණ්ඩායම් ඔවුන් හා ඒ පුහුණු තරගවලට සහභාගී වෙමින් සිටියි. කණ්ඩායමට පුහුණුකාරීත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් මෙන්ම වත්මන් පුහුණුකරුවන් වන ජානක ඉන්ද්‍රජිත් මහතා සහ මොරිස් චන්දිමාල් ය.

s-12ජානක ඉන්ද්‍රජිත්, 2005 වර්ෂයේ සිට ම විවිධ වයස් මට්ටම්වල ජාතික සංචිත වලට පුහුණුකාරීත්වය ලබා දුන් ප්‍රවීණ පුහුණුකරුවෙකි. මෙවර ආසියානු ශූරතාවලිය වෙත යන කාන්තා 23න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය ද ඔහුට පැවරී ඇත. “ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලන පුහුණුකරුවන්ගේ පාඨමාලාව” හෙවත් FIVB පළමු අදියර සහ දෙවන අදියර යන පාඨමාලාවන් ද්විත්වයම සමත්ව ඇති ඔහු ඒ පිළිබඳව විශේෂ ඩිප්ලෝමාධාරියෙක් ද වන අතර දැනට ජාතික තරුණ සේවා සභා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ද පුහුණුකාරීත්වය හොබවයි.

s-13මොරිස් චමින්ද, මෙවර 23න් පහළ කාන්තා වොලිබෝල් කණ්ඩායමේ සහාය පුහුණුකරුවා ය. 2004 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ජ්‍යේෂ්ඨ වොලිබෝල් ක්‍රීඩකයෙකු වන මොරිස්, පුහුණුකරුවෙකු ලෙස සහභාගී වන පළමු විදෙස් සංචාරය මෙයයි. නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන අතරම “ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලන පුහුණුකරුවන්ගේ පාඨමාලාව” හෙවත් FIVB හි පළමු අදියර අවසන් කර ඇති ඔහු පන්දු සැකසුම (setting) පිළිබඳ තාක්ෂණික පාඨමාලාවක් ද හදාරා ඇත.

කණ්ඩායමේ දක්ෂයින්

කණ්ඩායමෙන් ක්‍රීඩිකාවන් 7 දෙනෙක්, 2014 කනිෂ්ඨ ආසියානු කාන්තා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට 8 වැනි ස්ථානය ගෙන ඒමට දායක වූවන්ය. දෙදෙනෙකු 2016 සාග් ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ය. ඉන් කිහිප දෙනෙකු මෙසේ සවිස්තරාත්මකව හඳුනා ගනිමු.

s-1තිලිණි වාසනා – කණ්ඩායම් නායිකාව වන්නේ ඇයයි. ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවියක වන ඈ, 2010 සිට 2012 වර්ෂය දක්වාම ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා කණ්ඩායම නියෝජනය කර ඇත. 2015 සහ 2016 වර්ෂවල දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයක් ද තහවුරු කර ගත් ඇය, ප්‍රබල යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන වේගවත් උසපන්දු ප්‍රහාරිකාවකි.

s-7තක්ෂිලා මධුරංගි – කණ්ඩායමේ උපනායකත්වය දරන ඇය, පසුගිය වසරේ දී පෙරළියන් කිහිපයක් සිදු කළ මාවතගම කැෂුවල් ලයින් කණ්ඩායමේ නායිකාවයි. වෙළඳසේවා තරගාවලිය නියෝජනය කළ කණ්ඩායමක් ඉතිහාසයේ පළමු වරට ජාතික වොලිබෝල් තරගාවලියක අවසන් මහා තරගයකට සහභාගී වූයේ ඇගේ නායකත්වයෙනි. 2012 යොවුන් කාන්තා කණ්ඩායමත්, 2014 කනිෂ්ඨ කණ්ඩායමත්, 2016 ජාතික කණ්ඩායමත් නියෝජනය කිරීමේ වරම ලද ඇය ද උසපන්දු ප්‍රහාරිකාවකි.

s-9කවීෂා ලක්ෂානි – ඇහැලියගොඩ ධර්මපාල විදුහලෙන් වොලිබෝල් පිටියට පිවිසි කවීෂා, 2014 කනිෂ්ඨ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩිකාවයි. 2012 ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ද නියෝජනය කළ ඈ, 2014 ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම සමඟ විදෙස් සංචාරයකටත් එක්ව ඇත. මේ වන විට කවීෂා නියෝජනය කරන්නේ නාවික හමුදා ක්‍රීඩා සමාජයයි.

උසපන්දු ප්‍රහාරිකාවන් 6 දෙනෙක්, කෙටි පන්දු ප්‍රහාරිකාවන් 3 දෙනෙක්, පන්දු සකසන්නියන් 2 දෙනෙක් සහ එක් ලිබරෝ ක්‍රීඩිකාවක් මෙවර කණ්ඩායමට ඇතුළත් වේ.

සංචිතය

තිලිණි වාසනා (නායිකා), තක්ෂිලා මධුරංගි (උ. නායිකා), සඳුනි දිනේෂිකා, අනුත්තරා සඳමාලි, විනෝදි කෞශල්‍යා, කවීෂා ලක්ෂානි, අනුරිෂා චතුනි, අමානි කෞශල්‍යා, රිද්මි සකුන්තලා, සචිනි චාරුකා, අප්සරා සෙව්මාලි, චමරි සංජුලා.

  • ප්‍රධාන පුහුණුකරු – ජානක ඉන්ද්‍රජිත්
  • සහාය පුහුණුකරු – මොරිස් චමින්ද
  • කළමණාකරු – චන්දන විජේසිංහ
  • කාන්තා නිලධාරී – රන්තිලකා ජයවීර

අවසන් වශයෙන්

මේ වන විට හොඳින් පුහුණුවීම්වල යෙදෙන 23න් පහළ කාන්තා කණ්ඩායමට පූර්ණ අනුග්‍රාහකයෙකු නොමැත. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පෝෂණීය ආහාර සහ නවාතැන් පහසුකම් ද, ක්‍රීඩාගාර පහසුකම් ද සපයා ඇති බව නම් සතුටට කරුණකි. ආසියානු මට්ටමට නැගී සිටින්නට නම් ඒ ධනාත්මක දෑ වර්ධනය කර ගන්නා අතරතුර සෘණාත්මක දෑ වලින් මිදීමට ද ඔවුන්ට අවස්ථාව සපයා දිය යුතු බව ද මෙහි දී සිහිපත් කිරීම වටියි.

කෙසේ වෙතත් ආසියාවේ පළමු කාන්තා කණ්ඩායම් 8 තුළට පැමිණීමේ අභිප්‍රායෙන් පුහුණුවන ශ්‍රී ලංකා 23න් පහළ වොලිබෝල් ලලනාවන්ට තම කාණ්ඩයේ පළමු දෙදෙනා අතරට පැමිණිය හැකි නම් එය පහසු වනු ඇත.

ලොකු අභියෝගයක් තියෙනවා. නමුත් ඒක කරන්න බැරි නැහැ.” ප්‍රධාන පුහුණුකරු ජානක ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ විශ්වාසයෙනි.

ඊට ThePapare.com අපි, ශක්තිය සහ ධෛර්යය පතන්නේ අවංකවම ය. එළඹෙන මැයි 10 වැනිදා දිවයිනෙන් පිටත්ව යන 23න් පහළ කාන්තා වොලිබෝල් කණ්ඩායමට ඔබේ සුබ පැතුම් පහතින් ප්‍රකාශ කළ හැකි අතරම තරග වාර්තා සඳහා ThePapare.com සමඟින් එක්වන්නට ද ඔබට ආරාධනා කරන්නෙමු.

  තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට