බේස් බෝල් මහ පුටුව ෆසිල් හුසේන්ට

120

කොළඹ රාජකීය විද්‍යාලයේ ස්කිල් සෙන්ටර්හිදී පසුගියදා පැවැති ශ්‍රී ලංකා බේස් බෝල් සංගමයේ නව නිලධාරී මඬුල්ල තෝරා පත්කර ගැනීමේ නිලවරණයේදී නව සභාපති ලෙස වෙළෙඳ ව්‍යාපාරිකයකු වන ෆසිල් හුසේන් මහතා නිතරගයෙන් තේරී පත්විය.

 

ශ්‍රී ලංකා බේස් බෝල් සංගමයට අනුබද්ධ සංගම් 13කට අධික සංඛ්‍යාවක සහභාගීත්වයෙන් පැවැති මෙම ඡන්ද විමසීමේදී සංගමයේ ලේකම්වරයා ලෙස රජිත් රත්නායක මහතාද නිතරගයෙන් තේරීපත්වූ අතර උප සභාපතිවරුන් ලෙස මයන්ත දිසානායක හා මේජර් ජෙනරාල් යූ.එස්. විතානගේ යනමහත්වරු තේරී පත්වූහ.

තවද ඩී.කේ. පෙරේරා මහතා සංගමයේ නව උපලේකම් ධුරයට පත්ව ඇති අතර භාණ්ඩාගාරික ලෙස පී.එස්. කොඩිකාර සහ උප භාණ්ඩාගාරික ලෙස ටී.ඩී. කුලතුංග යන මහත්වරුද, එම්.සී. ප්‍රනාන්දු මහතා සංවිධායකවරයා වශයෙන්ද, එක් එක් අංශයන්ගේ තරග සංවිධායක මණ්ඩලය ලෙස එම්.එච්. ප්‍රේමරත්න, එන්.ටී. ජයසිංහ, කේ.ආර්. අරුණකාන්ත, සී.ඩී. වන්නිආරච්චි සහ එස්.එස්. අබේවික්‍රම යන මහත්වරුද නව නිලධාරි මඬුල්ල අතරට එක්වූහ.