ශ්‍රී ලංකා යෞවනයෝ ආසියානු සහ ලෝක කුසලානයට සූදානම්

924

19න් පහළ ආසියානු සහ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම මේ මස 20 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට සූදානමින් සිටිනවා.

වත්මන් ලෝක ශූර බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම 5-0ක් ලෙස සහ එංගලන්ත කණ්ඩායම 3-2ක් ලෙස පරාජයට පත් කළ ශ්‍රී ලංකා යෞවනයින් මේ වන විට ඉතාමත් හොඳ මානසිකත්වයකින් තරගාවලිය සඳහා මුහුණ දීමට සූදානමින් පසුවනවා.

ඔවුන්ගේ මීළඟ අභියෝගය වන 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එළඹෙන දෙසැම්බර් 23 සිට දෙසැම්බර් 31 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර ඉන්පසුව ජනවාරි 14 සිට බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනවා.

එළඹෙන ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියට සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා අපේ 19න් පහළ කණ්ඩායම මේ වන විට ඉතාමත් හොඳ සූදානමකින් ඉන්නවා. ඔවුන්ගේ දස්කම් ගැන මට සෑහීමකට පත්වෙන්න පුළුවන්. අපි මේ වෙනකන් කරපු සැලසුම් ඔක්කොම වගේ හොඳ සාර්ථකත්වයක් පෙන්නුවා”, යැයි ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා Daily FT වෙත පවසා තිබෙනවා

නායක දුනිත් වෙල්ලාලගේ (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය) සහ උප නායක රවීන් ද සිල්වා (කොළඹ නාලන්දා විද්‍යාලය) ඇතුළු ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මේ වන විට ඉතාමත් හොඳ මට්ටමක රිද්මයකින් පසුවෙනවා.

“අපේ කඩුලු රකින ක්‍රීඩකයින් දෙදෙනා තමයි අංජල බණ්ඩාර සහ සදීෂ ජයවර්ධන කියන්නේ. අපේ පිතිකරණ ලැයිස්තුවේ පළමු ස්ථාන තුන ගොඩක් ස්ථාවරයි. හැබැයි ප්‍රතිවාදී කණ්ඩායම, තරගයේ ස්වභාවය වගේ කාරනා අනුව මේක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. හැබැයි දෙන ඕනෑම වෙලාවක, ඕනෑම තැනක ක්‍රීඩා කරන්න සූදානමින් ඉන්න කියලා අපේ ක්‍රීඩකයින්ට අපි කියලා තියෙන්නේ”, යැයි ගුණවර්ධන මහතා එහි දී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

පිතිකරණ අංශය දෙසින් බැලීමේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ වමතින් පිතිකරණයේ නිරත වන පවන් පතිරාජ අංක 4 ස්ථානය සඳහා ඉතාමත් හොඳ අඩිතාලමක් සකස් කරගෙන සිටිනවා. ඔහු මේ අවසන් තරගාවලි දෙක පුරාවට ශතකයක් අර්ධ ශතක තුනක් සමඟ සමස්ත ලකුණු 374ක් ලබාගෙන දස්කම් දක්වා තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ගේ බලඇණිය සලකා බැලීමේ දී වමතින් වේගපන්දු යවන යසිරු රොද්‍රිගෝ, මතීෂ පතිරණ, විනුජ රන්පුල්, දුනිත් වෙල්ලාලගේ, රවීන් ද සිල්වා සහ වනුජ සහන් ඇතුළු පන්දු යවන්නන් සියලුම දෙනාම ඉතාමත් හොඳ දස්කම් අතර පසුවෙනවා.

ThePapare.com වෙත ලැබෙන විශ්වාසදායී ආරංචි මාර්ගවලට අනුව 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ ලෝක කුසලානය සඳහා යන ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය මෙසේයි,

ශ්‍රී ලංකා 19න් පහළ අපේක්ෂිත සංචිතය:

  • දුනිත් වෙල්ලාලගේ – නායක (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය)
  • රවීන් ද සිල්වා – උප නායක (කොළඹ නාලන්දා විද්‍යාලය)
  • සදීෂ් ජයවර්ධන (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය)
  • පවන් පතිරාජ (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)
  • චමිඳු වික්‍රමසිංහ (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය)
  • විනුජ රන්පුල් (කොළඹ නාලන්දා විද්‍යාලය)
  • සදීෂ රාජපක්ෂ (කොළඹ රාජකීය විද්‍යාලය)
  • ශෙවෝන් ඩැනියල් (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය)
  • මල්ෂ තරුපති (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය)
  • වනුජ සහන් (කොළඹ සාන්ත පීතර විද්‍යාලය)
  • ට්‍රෙවින් මැතිව් (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය)
  • යසිරු රොද්‍රිගෝ (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය)
  • මතීෂ පතිරණ (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)
  • අංජල බණ්ඩාර (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය)
  • අභිෂේක් ලියනාරච්චි (කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය)
  • සකුණ ලියනගේ (කොළඹ ලුම්බිණි විද්‍යාලය)
  • රනුද සෝමරත්න (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)

19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි කාලසටහන පහත පරිදි වෙනවා,

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ThePapare.com ඒමට අප සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<