ශ්‍රී ලංකා යෞවනයෝ එංගලන්තය සමතලා කරයි

527
sl v eng

අවිශ්ක ප්‍රනාන්දු ගේ අති විශිෂ්ට පිතිහරඹයෙන් සවිමත් වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායම එංගලන්ත යෞවනයන් සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියෙන් 3 – 0ක සුපිරි ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. ඒ 3 වන සහ අවසන් යොවුන් එක්දින තරගය ලකුණු 24කින් ජය ගනිමිනුයි.

පසුගිය ලිපි: අවිශ්ක – සම්මු විශිෂ්ට හඹායාමක

කැන්ටබරි හී ශාන්ත ලෝරන්ස් ක්‍රීඩාංගනයේ කාසියේ වාසිය දිනාගත් චරිත් අසලංක තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි. ශ්‍රී ලංකා යොවුන් ඉනිමට අගනා ආරම්භයක් ලබා දෙන්නට ආරම්භක පිතිකරුවන් වූ අවිශ්ක ප්‍රනාන්දු සහ ඩිලාන් ජයලත් සමත් විය.

අවිශ්ක සහ ඩිලාන් පළමු කඩුල්ල සඳහා ගොඩනැගු සබඳතාව ලකුණු 149ක්. ඩිලාන් පන්දු 77කින් ලකුණු 67ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගිනුයි.

අවිශ්ක නොකඩවා දෙවන වරටත් ශතකයකින් කණ්ඩායමට දායකත්වය සපයන්නට සමත් විය. ඔහු ලකුණු 137ක් රැස් කළේ පන්දු 130ක් පමණක් වැය කරමිනි. අවිෂ්කගේ පිතිකරණ සංදර්ශනය හතරේ පහර 15කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය.

නායක චරිත් අසලංක ලකුණු 30කින් කණ්ඩායමට දායකත්වය සපයන ලදී. කෙසේ වෙතත් පසුපෙළ බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 49.1ක් තුල ලකුණු 300කට සීමා විය.

පන්දු යැවීමේදී බෙන් ග්‍රීන් කඩුලු 3ක් දවා ගන්නට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත යොවුන් කණ්ඩායමට නියමිත පන්දුවාට 50 තුල කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 276ක් පමණයි.

ඔලී පෝප් ලකුණු 87ක් සහ ජෝජ් හැන්කින්ස් ලකුණු 79ක් ලබා ගන්නා ලදී. වනිඳු හසරංග ලකුණු 39කට කඩුලු 3ක් බිඳ හෙලන්නට සමත් විය. ඊට අමතරව ලහිරු කුමාර සහ දමිත සිල්වා අතරේ කඩුලු 2බැගින් බෙදී යන ලදී.

මේ තරගාවලියේ පළමු යොවුන් එක්දින තරගය ශ්‍රී ලංකා යෞවනයන් ලකුණු 108කින් ජයගත් අතර දෙවන තරගයෙන් ඔවුන්ට කඩුලු 1ක තියුණු ජයක් හිමි විය.

ලකුණු පුවරුව :

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කන්ඩායම – සියල්ලන් දැවී – 300 (49.1)  – අවිශ්ක ප්‍රනාන්දු – 138, දිලාන් ජයලත් – 67, බෙන් ග්‍රීන් – 3/59

එංගලන්ත වයස අවුරුදු 19න් පහල කණ්ඩායම – 276/9 (50) – ඔලී පෝප් – 87, ජෝජ් හන්කින්ස් – 79, වනිඳු හසරංග – 3/39

ශ්‍රී ලංකා යෞවනයන්ට ලකුණු 24ක ජයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට