අවිශ්ක – සම්මු විශිෂ්ට හඹායාමක

535
Sri Lanka u19 v England u19 cricket 2nd ODI

විශිෂ්ට ගණයේ ලකුණු හඹා යාමක නිරත වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවැත්වෙන, තරග 3කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය, තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගන්නට සමත් විය. ඒ දෙරට අතර දෙවන යොවුන් එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කරමිනුයි.

පසුගිය ලිපි: අසලංක – සම්මු එළි කළ ජයමග

චෙම්ස්ෆීල්ඩ් හී පැවති දෙවන යොවුන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී. නමුත් නායක හෝල්ඩන් තම ඉනිම ලකුණු 2කට සීමා කරගත්තේ ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දෙමිනුයි.

ඔහුගේ දැවී යාමෙන් පසු අගනා සබඳතා දෙකකට දායක වන්නට ජෝජ් හෝකින්ස් සමත් විය. හෝකින්ස් ටොම් මුවර්ස් සමග දෙවන කඩුල්ලට ලකුණු 123කුත්, ජෝජ් බාට්ලට් සමග 3 වන කඩුල්ලට ලකුණු 148කුත් එක් කරන ලදී.

ජෝජ් හෝකින්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ ලකුණු 98ක් සමගිනි. ශතකය පෙනි පෙනි තිබියදී ඔහුගේ ඉනිම අවසන් කළේද ලහිරු කුමාරයි. හෝකින්ස් තම ලකුණු 98 සඳහා පන්දු 144ක් වැය කළ අතර ඔහුගේ දෙපසින් ඉනිම ගොඩනැගීමට හවුල් වූ ටොම් මුවර්ස් පන්දු 68කින් ලකුණු 70ක් ද, ජෝජ් බාට්ලට් පන්දු 68කින් ලකුණු 85ක් ද රැස් කරන ලදී.

මෙම පිතිකරුවන්ගේ ශක්තිමත් පදනම මත ගොඩනැගුණු ශක්තිමත් එංගලන්ත යොවුන් ඉනිම පන්දුවාර 50 අවසානයේ දැක්වුණේ කඩුලු 8කට ලකුණු 315ක් ලෙසිනි.

පන්දුවෙන් යලිත් වරක් දස්කම් පෑ ලහිරු කුමාර කඩුලු 4ක් දවා ගනිද්දී, ජෙහාන් ඩැනියල් කඩුලු 2කුත් තිලාන් ප්‍රසාන් එක් කඩුල්ලකුත් දවා ගැනීමට සමත් විය.

ඉතා අසීරු ඉලක්කයක් ලෙස දිස්වූ ලකුණු 316 ඉලක්කය හඹා යාමට අගනා ආරම්භයක් ලබා දුන්නේ අවිශ්ක ප්‍රනාන්දු සහ ඩිලාන් ජයලත් විසිනි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 52කදී ලකුණු 67ක් එක් කරන ලදී. ඩිලාන් ලකුණු 41කට දැවීයාමත් සමග ආරම්භ වුයේ අවිශ්ක ප්‍රනාන්දුගේ ගිනි කෙලි සංදර්ශනයයි.

නායක චරිත් අසලංක සහ වනිඳු හසරංග සමග කෙටි නමුත් ප්‍රයෝජනවත් සබඳතා ගොඩ නැගූ අවිශ්ක ලකුණු 117ක් ලබා ගත්තේ පන්දු 96ක් පමණක් වැය කරමිනුයි. අවිෂ්කගේ ඉනිම හතරේ පහර 15කින් සහ හයේ පහරකින් හැඩගැන්වී තිබිණි.

සම්මු අශාන් සමග එක්ව ශ්‍රී ලංකා යෞවනයන් ජය මාවතට අවතීර්ණ කරන්නට අවිශ්ක සමත් වුවද ඔහු දුවද්දී දැවීයාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම යම් කඩා වැටීමකට ලක් වන බවක් දක්නට ලැබුණි. ලකුණු පුවරුවෙන් එල්ලවූ පීඩනය හමුවේ පසුපෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කැබලි වීමට නොදී එකලස් කල සම්මු අශාන් නොදැවී ලකුණු 77ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යන්නට සමත් විය.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මේ තරගය ජයගන්නා විට ඔවුන් සතුව ඉතිරිව පැවතියේ තවත් එක් කඩුල්ලක් සහ පන්දු 5ක් පමණි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නොදෙවෙනි සටන්කාමීත්වයක් මෙම යොවුන් ක්‍රීඩකයින්ද මෙම තරගාවලිය පුරාවටම ප්‍රදර්ශනය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට සුබ නිමිත්තක් වනු නොඅනුමානය.

ලකුණු පුවරුව

එංගලන්ත යොවුන් කණ්ඩායම – 315/8 (50)   : ජෝජ් හෝකින්ස් – 98, ජෝජ් බාට්ලට් – 85, ටොම් මුවර්ස් – 70, ලහිරු කුමාර – 4/56, ජෙහාන් ඩැනියල් – 2/70

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම – 318/9 (49.1)  : අවිශ්ක ප්‍රනාන්දු – 117, සම්මු අශාන් – 77*, ඩිලාන් ජයලත් – 41, බෙන් ග්‍රීන් – 3/77 , බෙන් ටෝහිග් – 2/55

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායමට එක් කඩුල්ලක තියුණු ජයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට