“කොදෙව් සංචාරය කල් දාන්න අපි තීරණය කළා” – SLC සභාපති

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

308

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග දෙකක තරගාවලියක් සඳහා ලබන 20 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් හි සංචාරය කිරීමට නියමිතව තිබුණ ද, COVID-19 වසංගතය හේතුවෙන් එම තරගාවලිය කල් දමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසා සිටිනවා.

මේ සඳහා හේතු වී තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්නට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ක්‍රීඩකයන් රැසක් නිරෝධායනයට ලක් කිරීමට සිදුව තිබීමයි.

‘‘අපි කොදෙව් සංචාරය ඉලක්ක කරමින් පුහුණුවීම් ආරම්භ කළා. නමුත් පුහුණුකරුට සහ තිරිමාන්නට COVID ආසාදනය වූ නිසා පුහුණුවීම් නතර කරලා තියෙන්නෙ. ඔවුන්ට නිරෝධායනය වෙන්නත් කාලයක් යනවා. ඒ වගේම පුහුණු වෙන්නත් කාලයක් නැහැ. මේ සියලු දේ සලකා බලලා කොදෙව් සංචාරය කල් දමන්න අපි තීරණය කළා. ඒ නිසා මේ මාසයේ දී අපිට කොදෙව් යන්න වෙන්නෙ නැහැ’’ යැයි ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා දිවයින පුවත් පත වෙත පවසා තිබෙනවා.

 තවත් ක්‍රිකට් පුවත්:

කොදෙව් සංචාරය ඉලක්ක කරමින් 35 දෙනකුගෙන් යුත් සංචිතයක් කාණ්ඩ තුනක් යටතේ ජනවාරි මස 28 වැනිදා සිට පුහුණුවීම් ආරම්භ කරනු ලැබූ අතර අවසන් සංචිතයක් තෝරාගැනීම වෙනුවෙන් ශාරීරික යෝගය්‍යතා පරීක්ෂණය මේ මස 4 සහ 5 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද, එය ද මේ වන විට අත්හිටුවා තිබෙනවා. මීට පෙර වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප‍්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට ද COVID-19 වයිරසය ආසාදනය වී තිබුණා.

මයිකල් තිසේරා සහ ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ද තරගාවලියක් වෙනවා.

දැනට පවතින තත්වය අනුව තරගාවලිය කල් ගිය ද ඉදිරියේ දී තත්ත්වය යහපත් වූ වහාම සුදුසු දින වකවානුවක දී තරගාවලිය පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් දැනටමත් සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වෙනවා.

 මේ අතර COVID-19 ආසාදනය වූ ලහිරු තිරිමාන්න සහ මිකී ආතර් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක නිරෝධායනයට ලක්කර තිබෙන අතර ඔවුන් දෙදෙනාට COVID ආසාදනය වුවද කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර තිබීම ද විශේෂත්වයක්. ඔවුන් දෙදෙනාම මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද වාර්තා වෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්දින තරග තුනක හා ටෙස්ට් තරග දෙකක සංචාරයක් සඳහා මේ වන විට බංග්ලාදේශයට පැමිණ සිටින අතර, සංචාරය මේ මස 15 වැනිදා නිමාකර 17 වැනිදා කොදෙව් දේශය බලා නැවතත් පිටත් වීමට නියමිතයි. බංග්ලාදේශය සමඟ තරග සංචාරයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී වූ එක්දින තරග තුනම පරාජයට පත්ව සිටීම විශේෂත්වයක් වන අතර කොරෝනා වසංගත හේතුවෙන් කොදෙව් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ රැසක් මේ තරගාවලියට එක්වූයේ නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<