සෝන්ඩර්ස් සහ ගුවන් හමුදාව අතර උණුසුම් තරගයක්

300

2017 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය යටතේ ඊයේ (17) කැලණිය පාපන්දු සංකීර්ණයේ දී පැවති, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ගුවන් හමුදා කණ්ඩායම තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් ගෝල ලබා ගැනීමට පහසු අවස්ථාවන් 3ක් නිර්මාණය කර ගැනීමට සමත් වුවත් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගැනීමට ඔවුන් අපොහොසත් විය. එක් අවස්ථාවක දී සෝන්ඩර්ස් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක අසංක විරාජ්ගේ විශිෂ්ට ගෝල රැකීම හේතුවෙන් යුද හමුදා කණ්ඩායමට ගෝලයක් වාර්තා කර ගැනීමට හිමි වූ අවස්ථාවක් ගිලිහී ගියේය.

සිංහයින් හමුවේ යුධ සෙබළුන් පරාජය වේ

කෙසේ නමුත් පළමු අර්ධයේ අවසාන භාගය වන විට තරගයේ පාලනය තමන් යටතට ගන්නට සෝන්ඩර්ස් ක්‍රීඩකයින් සමත් වූ අතර එහි දී ඔවුන් ගෝලයක් ලබා ගැනීමට ගත් උත්සාහයක් ගුවන් හමුදා කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක රුවන් අරුණසිරි විසින් ව්‍යර්ථ කර දැමීමට සමත් විය.

පළමු අර්ධය තුළ ගුවන් හමුදා කණ්ඩායමේ ඩී. කේ. දුමින්ද සහ හර්ෂ ප්‍රනාන්දු සහ සෝන්ඩර්ස් කණ්ඩායමේ ක්‍රිෂාන්ත අබේසේකර කහ කාඩ්පත් අවවාදවලට ලක්වූයේ තරගයේ උණුසුම තවත් ඉහළ නංවමිනි.

පළමු අර්ධය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 0 – 0 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ සෝන්ඩර්ස් කණ්ඩායමේ ක්‍රිෂාන්ත අබේසේකර ගෝලයක් ලබා ගැනීමට පහරක් එල්ල කළත් එය පහසුවෙන් රැක ගන්නට ගුවන් හමුදා කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක රුවන් සමත් විය.

අනතුරුව සෝන්ඩර්ස් කණ්ඩායමට ගෝල රාමුව ආසන්නයේ නිදහස් පහරවල් දෙකක් හිමි වුවත් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත. පන්දුව හැසිරවීමේ දී රුවන් අතින් සිදු වූ දෝෂයක් හරහා සෝන්ඩර්ස් ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කර ගැනීමට ඉතා ආසන්නයට පැමිණියත්, ලක්මාල් ගුණසිංහ පන්දුව ගෝල රාමුවෙන් ඉවතට යොමු කරමින් එම අවස්ථාව ව්‍යර්ථ කර දමන්නට සමත් විය.

තරගය පුරාවට හොඳින් ක්‍රීඩා කළ සෝන්ඩර්ස් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක අසංක, හර්ෂ ප්‍රනාන්දු එල්ල කළ පහරක් නිසි පරිදි විනිශ්චය කර ගැනීමට අපොහොසත් වුවත් පන්දුව ගෝල රාමුවේ වැදී ඉවතට යාම හේතුවෙන් එම අවස්ථාවේ දී ද ගෝලයක් වාර්තා වූයේ නැත.

සෝන්ඩර්ස් කණ්ඩායමේ ‘Center back’ යුගලය වූ දුමිඳු හෙට්ටිආරච්චි සහ සංජුක ප්‍රියදර්ශන තරගය පුරාවට හොඳින් ක්‍රීඩා කළ අතර ගුවන් හමුදා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාවට ඔවුන් දෙදෙනා හරහා බාධා එල්ල විය.

අනතුරුව සෝන්ඩර්ස් කණ්ඩායමේ නායක චානුක එරංග සහ ගුවන් හමුදා කණ්ඩායමේ ලක්මාල් ගුණසිංහ අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඔවුන් දෙදෙනාට රතු කාඩ්පත් නිකුත් කිරීමට විනිසුරුවරයා තීරණය කළ අතර ඒ අනුව කණ්ඩායම් දෙකටම ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදු විය.

තරගය අවසානයට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී කවිඳු ඉෂාන් හට ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් ලැබුණත්, ඔහු එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියේය.

සම්පූර්ණ කාලය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 0 – 0 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – දුමිඳු හෙට්ටිආරච්චි (සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය)

ThePapare.com සමඟින් අදහස් දැක්වූ කණ්ඩායම් දෙකේම පුහුණුකරුවන් පිටියේ පැවති තත්වය පිළිබඳව සිය අප්‍රසාදය පළකර සිටියේ ය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පුහුණුකරු සම්පත් පෙරේරා;

“කණ්ඩායම් දෙකටම විවෘත වෙච්ච තරගයක්. කණ්ඩායම් දෙකටම අවස්ථාවන් ලැබුණා. ඒ නිසා තරගයේ තීරණය ඕනෑම කණ්ඩායමක් දෙසට යොමුවෙන්න තිබුණා. නමුත් පිටියේ තිබුණ තත්වය පිළිබඳව සතුටට පත්වෙන්න බැහැ. විනිසුරුවරුන්ට මෙන්ම ක්‍රීඩකයින්ටත් ඔවුන්ගේ කාර්යය බාධාවකින් තොරව කරන්න පුළුවන් ආරක්ෂාකාරී තත්වයක් ක්‍රීඩාංගණයේ තිබුණේ නැහැ. කෙසේ නමුත් අපේ කණ්ඩායමේ ප්‍රහාරාත්මක අංශය එතරම් ඉහළ තත්වයක තිබුණේ නැහැ. අපි තවමත් මෙම තරගාවලියේ ගෝලයක් වාර්තා කරලා නැහැ. ඒ නිසා අපි පාකිස්තානයෙන් ක්‍රීඩකයෙක් බලාපොරොත්තුවෙන් සිටින්නේ.”

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු සුමිත් වල්පොළ;

“මේ වගේ තත්වයක ක්‍රීඩා කරන්න සිදුවුන එක පිළිබඳව ඉතාම කණගාටුදායකයි. පිටියේ තිබුණ තත්වය නිසා තරගය තුළ කාඩ්පත් අවවාද කිහිපයක්ම නිකුත් වුනා. ක්‍රීඩකයින් ආබාධවලට ලක්වෙන්නත් ඉහළ අවස්ථාවක් තිබුණා. කොහොම වුනත් අපිට ගෝල ලබා ගැනීමට අවස්ථාවන් ලැබුණා. ක්‍රීඩකයින් පිටියේ තිබුණ දුර්වල තත්වය යටතේ වුවත් හොඳින් ක්‍රීඩා කළා. කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයින් හොඳ තරගයක් දුන්නා. කෙසේ නමුත් තරගයේ තීරණය ගැන සතුටට පත්වෙන්න බැහැ. නමුත් තීරණය කණ්ඩායම් දෙකටම විවෘතව තිබුණ නිසා ඒ ගැන එතරම් අසතුටක් නැහැ. නමුත් ක්‍රීඩා කරන්න සුදුසු නිසි ක්‍රීඩාංගණයක් නොමැතිව ක්‍රීඩකයින්ට ඔවුන්ගේ නියම දක්‍ෂතා පෙන්නන්න අමාරුයි.”

කහ කාඩ්පත්

  • සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය – ක්‍රිෂාන්ත අබේසේකර 34’
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – හර්ෂ ප්‍රනාන්දු 29’, ඩී. කේ. දුමින්ද 37’  

රතු කාඩ්පත්

  • සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය – චානුක එරංග 73’
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – ලක්මාල් ගුණසිංහ 73’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට