විස්සයි විස්ස තරග රටාවේ පළමු වරට පාකිස්තානු කණ්ඩායමට පූර්ණ තරගාවලි පරාජයක් උරුම කරමින් අද (09) පැවති තෙවැනි සහ අවසන් T20 තරගය ලකුණු 13කින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
ඒ අනුව ප්‍රබල ක්‍රීඩකයින් රහිතව පාකිස්තානය බලා ගිය මෙම යොවුන් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට තම නිසඟ දක්ෂතා නිසාම ජයග්‍රහණය කළ කුසලානය ද සමඟින් දිවයිනට ළඟා වීමට වරම් උදාවී ඇත.
භානුක ඇතුළු සිංහ පැටව් ලාහෝරය හොල්ලයි
නවක නායකයෙක් සහ තරුණ මුහුණු රැසක් සහිතව පාකිස්තානය බලා ගිය….
අද තරගය වෙනුවෙන් ගඩාෆි ක්‍රීඩාංගණය රෝස පැහැයෙන් සැරසීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබූ අතර එහි අරමුණ වන්නේ පියයුරු පිළිකා පිළිබඳ ජනතාව තුල ඇති අවධානය වඩාත් තීව්‍ර කිරීමයි. මීට පෙර කිහිප වතාවක්ම දකුණු අප්‍රිකාව මෙවැනි රෝස දින ක්‍රිකට් තරග පවත්වා ඇති නමුත් පාකිස්තානය එවැන්නක් සිදු කළේ පළමු වරටයි. මෙම තරගයට පෙර පාකිස්තානු රාජ්‍ය නායකයා විසින් දෙපිළේම නායකයින් හට රෝස පැහැති පළඳනා පැලඳවීමක් ද සිදු විය.
අද දිනයේදීත් තීරණාත්මක කාසියේ වාසිය තමන් සතුකර ගැනීමට නායක දසුන් ශානක වාසනාවන්ත වූ අතර ඔහු දෙවරක් නොසිතාම තරගාවලිය තුල තෙවැනි වරටත් මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ පසුගිය තරග දෙක ක්‍රියාත්මක වූ ආකාරය ද සැලකිල්ලට ගනිමිනි.
කෙසේ නමුත් තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව සංචිතයේ සෙසු ක්‍රීඩකයින්ට ද අවස්ථාවක් දීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම තම කණ්ඩායමේ වෙනස්කම් 5ක් සිදු කිරීමට තීරණය කර තිබුණි.
ඒ අවිශ්ක ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, මිනෝද් භානුක, ඉසුරු උදාන සහ නුවන් ප්‍රදීප් වෙනුවට සදීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජෙලෝ පෙරේරා, ලහිරු මධුශංක සහ ලහිරු කුමාර යන ක්‍රීඩකයින් ඇතුළත් කරමිනි. පළමු තරග දෙකේදී ශ්‍රී ලංකා නවක පන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වූ අහමඩ් ශෙසාඩ්, උමාර් අක්මාල් මෙන්ම මොහොමඩ් හස්නයින් කණ්ඩායමෙන් ඉවත් කිරීමට පාකිස්තානය තීරණය කර තිබූ අතර ඒ වෙනුවට ඉෆ්තිකාර් අහමඩ්, හැරිස් සොහෙල් සහ උස්මාන් ශින්වාරි ඇතුළත් කර තිබුණි.
සිංහයින්ට එරෙහිව කැන්ගරුවන්ගෙන් ප්‍රබල සංචිතයක්
ශ්‍රී ලංකාව හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත….
පසුගිය තරග දෙකේ දී ම ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් තම වගකීම උපරිමයෙන් ඉටු කළ ද අද සම්පූර්ණයෙන්ම කණපිට හැරවූ මුල්පෙළට එම කාර්යය සිදු කළ නොහැකි විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දැවී යන්නේ මේ දිනවල ලකුණු අතර සිටින ධනුෂ්ක ගුණතිලකයි. මොහොමඩ් අමීර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදෙන විට ඔහු ලබා සිටියේ ලකුණු 8ක් පමණි.
මීට අමතරව පසුගිය තරගයේ වීරයා සම්මානය ද දිනා ගත් භානුක රාජපක්ෂගේ උඩපන්දුවක් අත හරිමින් පාකිස්තානු කණ්ඩායම ඔහුට දෙවැනි අවස්ථාවක් ලබා දුන්න ද ඉන් ඵල නෙලා ගැනීමට ඔහුට හැකි නොවීය. ඒ ලකුණු 3ක් ලබා සිටිය දී ඔහු දෙවැනි වරට ලබා දුන් අපහසු උඩපන්දුව හතරේ සීමාව අසල සිට අසීෆ් අලි සුරැකිව රැක ගත් හෙයිනි. මීට අමතරව සදීර සමරවික්‍රම සහ ඇන්ජෙලෝ පෙරේරා ජාතික කණ්ඩායම තුල තමන්ට ලැබුණු තවත් අවස්ථාවක් අපතේ හැරියේ පිළිවෙළින් ලකුණු 12 සහ 13 බැගින් රැස් කරමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 4ක්ම ලකුණු 52ක් තුල බිඳ වැටී තිබූ මේ මොහොතේ කණ්ඩායමේ ගැලවීම වෙනුවෙන් ඉදිරිපත් වූයේ අද මංගල විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කරන ඕෂධ ප්‍රනාන්දුයි.
ඉතාමත් වේගවත් තරග රටාවක වුවද තම තාක්ෂණික පහරවල් පිළිබඳ විශ්වාසය තැබූ ඔහු මනරම් හතරේ පහර 8ක් සහ දැවැන්ත හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 78ක් රැස් කළේය. ඒ පන්දු 48කට පමණක් මුහුණ දෙමිනි.
ඔහු ඉතිහාසයට එක්වූයේ කුළුඳුල් විස්සයි විස්ස තරගයට සහභාගි වෙමින් අර්ධ ශතකයක් රැස්කළ පළමු පිතිකරුවා ලෙසයි. මෙම විශිෂ්ට ඉනිම නිසාම සත්කාරක පාකිස්තානු පිළට ලකුණු 148ක ඉලක්කයක් ලබා දෙන්නට ශ්‍රී ලංකා පිළට හැකිවිය. පන්දු යැවීමේ දී මොහොමඩ් අමීර් කඩුලු 3ක් බිඳ හෙලීය.
විස්සයි විස්ස තරගයක 150කට අඩු ඉලක්කයක් හඹා යාම එතරම් අපහසු නොවූවද අද ලාහෝර් තණතිල්ලේ තිබූ මන්දගාමී ස්වභාවය නිසා මෙය තරගයක් දිය හැකි ලකුණක් බව පෙනෙන්නට තිබුණි.
එම බලාපොරොත්තු තවත් වර්ධනය වන්නේ ඉනිමේ පළමු පන්දුවේ දී ම ප්‍රහාරක පිතිකරු ෆකාර් සමාන්ගේ කඩුල්ල බිඳ දැමීමට කසුන් රාජිත සමත් වීමත් සමඟයි. දවසින් දවස පන්දුව පාලනය කිරීම අතින් දියුණුවක් පෙන්නුම් කරන රාජිත මෙම තරගාවලිය පුරාවටම හොඳ පන්දු යැවීමක නිරත විය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් මෙම සුපිරි ආරම්භයේ වාසිය වැඩි වේලාවක් තබා ගැනීමට හැකි නොවූ අතර බාබර් අසාම් සහ හැරිස් සොහෙල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක් එක් කරමින් පාකිස්තානය අවදානමෙන් මුදා ගැනීමට සමත් විය. ඒ අනුව 12 වැනි පන්දුවාරයේ දී ලහිරු කුමාර මෙම සබඳතාවය බිඳ හෙලන විට බාබර් අසාම් පන්දු 32ක දී ලකුණු 27ක් ලබා සිටියේය.
ඒ වන විට පාකිස්තානයට ජය මාවත විවර වී තිබුණ ද ඉනිමේ අවසන් පන්දුවාර 8 දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙන්නුම් කළ සුපිරි දක්ෂතා නිසා තරගයේ උණුසුම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය විය.
ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ වැඩි වාසි ගෙන දීමට නැවත වරක් මූලිකත්වය ගත් වනිඳු හසරංග තමන්ට එරෙහිව දැවැන්ත පහරවල් එල්ල කිරීමට උත්සාහ කළ හැරිස් සොහෙල්, අසීෆ් අලි සහ නායක සෆ්රාස් දවා ගනිමින් පාකිස්තානුවන් අත තිබූ ජයග්‍රහණය උදුරා ගැනීමට සමත් විය. සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි හැරිස් සොහෙල් ඒ වනවිට ලකුණු 52ක් රැස් කරගෙන සිටියේය.
චමරි අතපත්තුගේ ශතක වෑයම ඵල රහිත වෙයි
ලොව අංක එකේ එක්දින ක්‍රිකට් කණ්ඩායම වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම….
ඒ අනුව අවසන් පන්දුවාරයේ දී පාකිස්තානු කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 28ක් අවශ්‍ය වූ අතර ඔවුන් ඉන් ලබා ගත්තේ හරි අඩක් පමණි. ඒ අද තම දෙවැනි විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ලහිරු මධුශංකට එරෙහිවයි.
ඒ අනුව ලකුණු 13ක විශිෂ්ට ජයක් සමඟින් තරග සංචාරය ජයග්‍රාහීව අවසන් කිරීමට මෙම තරුණ ජවයෙන් පිරිපුන් ශ්‍රී ලංකා පිළට හැකි විය. මෙය ඉතිහාසයට එක්වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානය විස්සයි විස්ස තරගාවලියක දී පූර්ණ පරාජයකට ලක්කළ ප්‍රථම අවස්ථාව ලෙසයි.
තරගයේ වීරයා සම්මානය සහ තරගාවලියේ වීරයා සම්මානය සංචාරය පුරාවටම තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට දක්ෂතා දැක්වූ වනිඳු හසරංගට හිමි විය. මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල අංක 8 ස්ථානයේ සිට අංක 7 දක්වා ඉදිරියට පැමිණීමට ද සමත් විය.
ඒ අනුව මෙම තරගාවලිය නිමා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට නැවුම් බලාපොරොත්තු රැසක් ද ඇති කරමිනි. ඒ ශ්‍රී ලංකාව සතු තරුණ ජවයට නිසි වටිනාකමක් ලබා දෙමින් ශක්තිමත් කණ්ඩායමක් ගොඩ නැගීමෙන් ලොව ඕනෑම ප්‍රබල කණ්ඩායමක් පරාජය කිරීමට හැකි බව ඇස් පනාපිටම තහවුරු කරමිනි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Danushka Gunathilaka | b Mohammad Amir | 8 | 9 | 1 | 0 | 88.89 |
Sadeera Samarawickrama | lbw b Imad Wasim | 12 | 12 | 1 | 0 | 100.00 |
Bhanuka Rajapaksha | c Asif Ali b Mohammad Amir | 3 | 8 | 0 | 0 | 37.50 |
Angelo Perera | run out (Iftikhar Ahmed) | 13 | 11 | 1 | 0 | 118.18 |
Oshada Fernando | not out | 78 | 48 | 8 | 3 | 162.50 |
Dasun Shanaka | c Fakhar Zaman b Wahab Riaz | 12 | 25 | 0 | 0 | 48.00 |
Lahiru Madushanka | c Iftikhar Ahmed b Mohammad Amir | 1 | 3 | 0 | 0 | 33.33 |
Wanindu Hasaranga | run out (Usman Khan) | 6 | 4 | 1 | 0 | 150.00 |
Extras | 14 (b 0 , lb 1 , nb 0, w 13, pen 0) |
Total | 147/7 (20 Overs, RR: 7.35) |
Fall of Wickets | 1-24 (2.6) Danushka Gunathilaka, 2-28 (3.6) Sadeera Samarawickrama, 3-30 (4.6) Bhanuka Rajapaksha, 4-58 (7.6) Angelo Perera, 5-134 (17.6) Dasun Shanaka, 6-140 (18.6) Lahiru Madushanka, 7-147 (19.6) Wanindu Hasaranga, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Imad Wasim | 4 | 0 | 18 | 1 | 4.50 | |
Usman Khan | 4 | 0 | 43 | 0 | 10.75 | |
Mohammad Amir | 4 | 0 | 27 | 3 | 6.75 | |
Shadab Khan | 4 | 0 | 32 | 0 | 8.00 | |
Wahab Riaz | 4 | 0 | 26 | 1 | 6.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Fakhar Zaman | b Kasun Rajitha | 0 | 1 | 0 | 0 | 0.00 |
Babar Azam | c Sadeera Samarawickrama b Lahiru Kumara | 27 | 32 | 1 | 0 | 84.38 |
Haris Sohail | st Sadeera Samarawickrama b Wanindu Hasaranga | 52 | 50 | 4 | 1 | 104.00 |
Sarfaraz Ahmed | b Wanindu Hasaranga | 17 | 16 | 1 | 0 | 106.25 |
Imad Wasim | c Wanindu Hasaranga b Lahiru Kumara | 3 | 5 | 0 | 0 | 60.00 |
Asif Ali | c Danushka Gunathilaka b Wanindu Hasaranga | 1 | 2 | 0 | 0 | 50.00 |
Iftikhar Ahmed | not out | 17 | 8 | 1 | 1 | 212.50 |
Wahab Riaz | not out | 12 | 6 | 0 | 1 | 200.00 |
Extras | 5 (b 0 , lb 1 , nb 0, w 4, pen 0) |
Total | 134/6 (20 Overs, RR: 6.7) |
Fall of Wickets | 1-0 (0.1) Fakhar Zaman, 2-76 (11.6) Babar Azam, 3-94 (15.1) Haris Sohail, 4-103 (16.4) Imad Wasim, 5-104 (17.1) Asif Ali, 6-111 (17.6) Sarfaraz Ahmed, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 4 | 0 | 17 | 1 | 4.25 | |
Lahiru Madushanka | 4 | 0 | 36 | 0 | 9.00 | |
Danushka Gunathilaka | 1 | 0 | 15 | 0 | 15.00 | |
Lahiru Kumara | 4 | 0 | 24 | 2 | 6.00 | |
Wanindu Hasaranga | 4 | 0 | 21 | 3 | 5.25 | |
Lakshan Sandakan | 3 | 0 | 20 | 0 | 6.67 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<