ඕස්ට්‍රේලියා සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි; උපනායකත්වය චරිත්ට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2022

1207

සත්කාරක ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග පහකින් යුත් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (26) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා.

20 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි දසුන් ශානකට හිමිව ඇති අතර  මෑත කාලයේ ඉහළ දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක චරිත් අසලංකට එහි උපනායකත්වය ලබා දී තිබීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම සංචිතය සඳහා, නිමා වූ ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ජනිත් ලියනගේ ද ඇතුළත් කර ඇති අතර එම තරගාවලියේ දී දස්කම් දැක්වූ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සහ දේශීය පිටියේ ඉහළ රිද්මයක සිටින යොවුන් පිතිකරු කමිල් මිෂාර ද පළමු වරට විස්සයි විස්ස කණ්ඩායමට කැඳවා තිබෙනවා.

එංගලන්ත තරග සංචාරයේ දී ජෛව ආරක්ෂිත බුබුළේ නීති කැඩීම නිසාවෙන් තරග තහනමකට ලක්වූ ධනුෂ්ක ගුණතිලක ද එම සිදුවීමෙන් පසුව පළමු වරට සංචිතයට කැඳවා ඇති අතර එම සිදුවීමෙන් දඬුවම් ලැබූ කුසල් මෙන්ඩිස් ද මෙම සංචිතයට ඇතුළත්.

ඔවුන්ට අමතරව 2021 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවූ රමේෂ් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ ඕස්ට්‍රේලියාවට එරෙහි සංචිතයට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

මෑත කාලයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිටින ප්‍රධානතම තුරුම්පුවක් වන රමේෂ් හට ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සහ දේශීය ක්‍රිකට් පිටියේ දැක්වූ දස්කම් නිසාවෙන් මෙම අවස්ථාව හිමිව ඇති අතර දේශීය සීමිත පන්දුවාර පිටියේ සහ නිමා වූ සිම්බාබ්වේ තරගාවලියේ දී දැක්වූ දස්කම් මත වැන්ඩර්සේ නැවතත් විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙනවා.

කෙසේ නමුත් පසුගිය කාලසීමාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි නිත්‍ය ක්‍රීඩකයින් මෙන්ම ලෝක කුසලාන සංචිතයට ද ඇතුළත් වූ කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා සහ භානුක රාජපක්ෂ මෙම සංචිතයට ඇතුළත් කර නැහැ.

ඕස්ට්‍රේලියානු තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය,

දසුන් ශානක (නායක), චරිත් අසලංක (උපනායක), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, ජනිත් ලියනගේ, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කමිල් මිෂාර, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම, ශිරාන් ප්‍රනාන්දු.

මෙම තරගාවලිය පිළිබඳව සියලුම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<