කිවියන් දණ ගස්වමින් කැන්ගරුවන්ට තවත් ටෙස්ට් තරගාවලි ජයක්!

86
Photo Credit : Getty Images

සමස්ථ ක්‍රිකට් ලෝකයටම අභියෝග කරමින් තමන් “පහසුවෙන් පරාජය කළ නොහැකි” අද්විතීය කණ්ඩායමක් බව තහවුරු කරමින් සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අද (29) තවත් තරගාවලි ජයග්‍රහණයක් තහවුරු කර ගත්හ. ඒ මේ දිනවල තම මව්බිමේ සංචාරයක නිරත වී සිටින නවසීලන්ත කණ්ඩායම ටෙස්ට් තරග දෙකකදී පිට පිටම පරාජයට පත් කරමිනි.

2016ට පසුව ශ්‍රී ලංකාව සිම්බාබ්වේ දේශයට!

2020 වසර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් කාර්‍ය බහුල තරග කාලසටහනක් තිබෙන වසරක…

ශ්‍රී ලංකාව ඉතිහාසගත ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කරගෙන ඇති සුප්‍රකට MCG පිටියේ දී ඇරඹුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් වූ අතර ඔවුන් තීරණය කළේ මුලින් පන්දුවට පහර දීමටයි. කෙසේ වෙතත් මෙම තීරණයේ දෝෂ සහිත බව ඉක්මනින්ම පැහැදිලි වන්නේ ජෝ බර්න්ස් හැරෙන්නට අනෙක් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සියල්ලම නවසීලන්තයට එරෙහිව හොඳින් දස්කම් දැක්වීමට පටන් ගැන්මත් සමඟයි.

එහිදී බොහෝමයක් පිතිකරුවන් තරගයට මෙන් ලකුණු රැස් කළද ලකුණු 467ක් දක්වා ඇදී ගිය ඕස්ට්‍රේලියානු ඉනිමේ වාර්තා වූ එකම ශතකයට හිමිකම් කීවේ ට්‍රැවිස් හෙඩ් පමණි. තම ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය ලෙස ට්‍රැවිස් ක්‍රීඩා කළ මෙම විශිෂ්ට ඉනිමට මනරම් හතරේ පහර 12ක් ඇතුළත් විය. ඒ අතරතුර ඔහු පන්දු 234කට මුහුණ දීම තුලින් ඕස්ට්‍රේලියානු ඉනිම ඉක්මනින් බිඳ හෙලීම කිවි පන්දු යවන්නන්ට පහසු වූයේ නැත. 

මීට අමතරව ලකුණු රැස් කිරීම තම විනෝදාංශය බවට පත් කරගෙන සිටින ස්ටීවන් ස්මිත් ලකුණු 85ක් රැස්කර ගත්තේ නැවතත් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණ ගැනීමේ බලාපොරොත්තු ඇතිවයි. පන්දු යැවීමේ දී වමතින් වේග පන්දු යවන නීල් වැග්නර් කඩුලු 4කට හිමිකම් කියද්දී ටිම් සවුති කඩුලු 3ක් දවා ගත්තේය.

ආබාධයක් නිසා ක්‍රීඩකයෙකුට යොවුන් ලෝක කුසලානය මඟ හැරෙන ලකුණු

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් ක්‍රිකට්….

කැන්ගරුවන් කරණම් ගැසූ තණතිල්ලේ කිවියන් ද ලකුණු අතරට පිවිසෙනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළද ඕස්ට්‍රේලියානු වේග පන්දුවේ බලය ඉදිරියේ ඔවුන්ට හිස එසවීමට කිසිදු ඉඩක් ඉතිරි වූයේ නැත. මේ දිනවල සුපිරි දක්ෂතා අතර සිටින පැට් කමින්ස් කඩුලු 5කුත්, ජේම්ස් පැටින්සන් සහ මිචෙල් ස්ටාර්ක් ඉතිරි කඩුලු 5ත් බිඳ හෙලා අවසන් වනවිට නවසීලන්ත පළමු ඉනිමට එකතු වී තිබුනේ ලකුණු 148ක් පමණි. කණ්ඩායමේ එකම අර්ධ ශතක ලාභියා බවට ටොම් ලැතම් පත්විය.

තවත් ටෙස්ට් ජයක ඉව වැටුනු කැන්ගරු පිළ එම අවස්ථාව කිසිදු අයුරකින් අහිමි නොවීමේ මීලඟ පියවර ලෙස තම දෙවැනි ඉනිමට ලකුණු 168ක් පමණක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවන්නට තීරණය කළහ. ඒ මෙම තණතිල්ලේ ලකුණු 488ක ඉලක්කයක් හඹායාම කිවියන්ට සිහිනයක්ම පමණක් වන බව දන්නා නිසාවෙනි. ඒ අනුව කැන්ගරුවන්ගේ සිහින සැබෑ කරමින් නවසීලන්ත දෙවැනි ඉනිමත් ලකුණු 240ක් තුල අවසන් වන්නේ ලකුණු 247ක පහසු ජයක් සත්කාරක ඕස්ට්‍රේලියාවට හිමිකර දෙමිනි.

එහිදී ඕස්ට්‍රේලියානු දඟ පන්දුවේ ශක්තිය වැඩි වශයෙන් දැකිය හැකි වූ අතර පිට දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් කඩුලු 4කට හිමිකම් කීවේය. නියත පරාජයකට එරෙහිව තමන්ට හැකි පමණින් සටන් වැදුනු නවක නවසීලන්ත ආරම්භක පිතිකරු ටොම් බ්ලන්ඩෙල් තම මංගල ශතකය වාර්තා කර ගැනීමට සමත් වීම නවසීලන්ත කඳවුරට ඉතිරි වූ එකම සැනසීම විය. 

ඕස්ට්‍රේලියාවේ ගිම්හාන වීරයා – මාර්නස් ලබුශේන්

මෙවර අළුබඳුන තරගාවලියේ දෙවන තරගය පැවැත්වුනේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දීයි. එම තරගයේ පස්වැනි දිනය වන විට ඕස්ට්‍රේලියාවට …

කෙසේවෙතත් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ තරග දිනවන ඉනිමක් ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු ට්‍රැවිස් හෙඩ්ටයි. මේ වනවිට ඕස්ට්‍රේලියාව තරග 2-0ක් ලෙස තරගාවලිය දිනාගෙන අවසන්ව ඇති අතර දෙරට අතර අවසන් ටෙස්ට් තරගය ජනවාරි 3 වැනිදා සිඩ්නි හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 467 (පන්දුවාර 155.1)

ට්‍රැවිස් හෙඩ් 114, ස්ටීවන් ස්මිත් 85, ටිම් පේන් 79, මාර්නස් ල’බුශේන් 63, ඩේවිඩ් වෝනර් 41, නීල් වැග්නර් 4/83, ටිම් සවුති 3/103, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 2/68.

නවසීලන්ත පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 54.5)

ටොම් ලැතම් 50, නීල් වැග්නර් 18, ටොම් බ්ලන්ඩෙල් 15, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 11, පැට් කමින්ස් 5/28, ජේම්ස් පැටින්සන් 3/34, මිචෙල් ස්ටාර්ක් 2/30.

ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම – කඩුලු 5ක් දැවී ලකුණු 168 (පන්දුවාර 54.2)

ඩේවිඩ් වෝනර් 38, ජෝ බර්න්ස් 35, මැතිව් වේඩ් 30, ට්‍රැවිස් හෙඩ් 28, නීල් වැග්නර් 3/50.

නවසීලන්ත දෙවැනි ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 240 (පන්දුවාර 71)

ටොම් බ්ලන්ඩෙල් 121, හෙන්රි නිකොල්ස් 33, මිචෙල් සැන්ට්නර් 27, බී.ජේ. වොට්ලින් 22, නේතන් ලයන් 4/81, ජේම්ස් පැටින්සන් 3/35.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<