ප්‍රබල වෙනස්කමක් සහිතව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිකුත් වෙයි

82

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය මේ මස 19 වැනිදා ආරම්භ වන අතර එම තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වේ. ඒ සඳහා තරග වදින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (14) නිල වශයෙන් නිකුත් කළ අතර පාකිස්තාන ටෙස්ට් තරගාවලිය නියෝජනය කළ සංචිතයට සාපේක්ෂව වෙනස්කම් දෙකක් සිදුව ඇත.

2016ට පසුව ශ්‍රී ලංකාව සිම්බාබ්වේ දේශයට!

2020 වසර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් ………

කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න වෙත ලබා දී තිබෙන අතර ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න සහ දිල්රුවන් පෙරේරා සංචිතයේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ලෙස හඳුන්වා දීමට හැකිය.

ශ්‍රී ලංකාවේ දැනට සිටින අත්දැකීම් බහුලතම වේගපන්දු යවන ක්‍රීඩකයා වන සුරංග ලක්මාල් ඩෙංගු උණ රෝගය වැළඳී සිටි නිසාවෙන් පාකිස්තානු තරග සංචාරය සඳහා එක් වූයේ නැත. කෙසේ නමුත් ඔහු දැන් ඉන් සම්පූර්ණ සුවය ලබා සිටින නිසා අසිත ප්‍රනාන්දු වෙනුවට සුරංග ලක්මාල් සිම්බාබ්වේ තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කොට තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවති තරගයක දී සුපිරි දස්කම් විදහාලමින් ශ්‍රී ලංකාවට සුපිරි ජයක් ලබා දීමට සවියක් වූ කුසල් පෙරේරා මේ සංචිතය සඳහා එක් කර නොතිබීම තරමක් මවිතයට කරුණකි. පසුගියදා 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට තරගාවලි පරාජයක් හිමිකර දෙමින් අවසන් වූ ටෙස්ට් තරගාවලියේ දී කුසල් පෙරේරා හට එකඳු ටෙස්ට් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වූයේ නැත.

  • ඇතුළට – සුරංග ලක්මාල්
  • ඉවතට – කුසල් පෙරේරා සහ අසිත ප්‍රනාන්දු

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ සද්දන්ත නියමුවා ‘ෆ්ලෙම්’

ඔහු ගැන කතා කරන්නට පෙර ඇය ගැන කතා කළ ………..

මෙවර සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිටින වේගපන්දු යවන්නන් අතර අත්දැකීම් බහුලතම වේගපන්දු යවන්නා වන්නේ දකුණතින් වේගපන්දු යවන ලක්මාල්ය. ඊට අමතරව වමතින් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු දකුණතින් වේගපන්දු යවන ලහිරු කුමාර සහ කසුන් රාජිත ඇතුලත්ය.

දඟපන්දු යවන්නන්ගේ අංශය සවිබල ගැන්වීම වෙනුවෙන් මූලික වගකීම පැවරී ඇත්තේ දකුණතින් පිට දඟපන්දු යවන දිල්රුවන් පෙරේරාට වන අතර ලසිත් ඇඹුල්දෙණිය සහ ලක්ෂාන් සඳකැන් පෙරේරාගේ සහය වෙනුවෙන් සංචිතය තුල සිටින අනෙක් දඟපන්දු යවන්නන් වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය,

දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත

මෙම තරගාවලිය 2019-21 ටෙස්ට් ශූරතාව සඳහා ඇතුළත් නොවේ. එයට හේතුව වන්නේ එම තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 9 තුල සිම්බාබ්වේ කණ්ඩායම නොසිටීමයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ක්‍රියා කළ අතර ඉන් අනතුරුව එරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය ලෙස මෙම තරගාවලිය පැවැත්වේ.

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තුල ඇති දේශපාලනික බලපෑම් පිළිබඳව කිසිදු පියවරක් නොගැනීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් එම තරග තහනම පනවන ලදි. එහි දී සිම්බාබ්වේ කණ්ඩායමට කිසිදු ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගි වීම තහනම් වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් එරටට සපයන ලද සියලු ආධාර ද නවත්වන ලදි.

සිම්බාබ්වේ හිටපු නායක හැමිල්ටන් මසකඩ්සා ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව සිම්බාබ්වේ ටෙස්ට් නායකත්වය නව නායක ශෝන් විලියම්ස්ට පැවිරිනි. සිම්බාබ්වේ කණ්ඩායම 2018 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කර නොමැති අතර 2017 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව ටෙස්ට් තරගාවලියක සත්කාරකත්වය දරා නැත.

දුනිත් වෙල්ලාලගේට ලකුණු 4 කින් ද්විත්ව ශතකය මඟ හැරෙයි

අනාගතයේ ලොව දිනන දරුවන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව …………

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සිම්බාබ්වේ සමඟින් ක්‍රීඩා කළ ටෙස්ට් තරගයේ දී සිව්වැනි ඉනිමේ දී ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වී ඇත. එසේම මේ කණ්ඩායම් දෙක අතර අවසන් වරට පවත්වා තිබෙන ටෙස්ට් තරග 8ම ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන අතර 2016 නොවැම්බර් මාසයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් සිම්බාබ්වේ දේශයට යන පළමු අවස්ථාව මෙය වනු ඇත.

තරග කාලසටහන 

  • පළමු ටෙස්ට් තරගය – ජනවාරි 19 -23 හරාරේ හිදී
  • දෙවන ටෙස්ට් තරගය – ජනවාරි 27-31 හරාරේ හිදී

තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<