සටන්කාමී ශ්‍රී ලංකාව අවසන් මොහොතේ පරදියි

273

දෙවන අර්ධයේ අසාර්ථක උත්සාහයන් හමුවේ ශ්‍රී ලංකාව හා ලාඕසය අතර පැවති දෙවන සුහද තරගය ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇඟිලි අතර තිබූ ජයග්‍රහණයක් ඔවුන්ගෙන් ගිලිහී යමින්.

පළමු තරගය ගෝල 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය වූ අතර මෙම සුහද තරගාවලිය පැවැත්වෙන්නේ FIFA ලෝක කුසලාන තේරීම් තරගාවලියට පෙර පුහුණුවීමක් වශයෙන්.

මැකාවු තරගයට ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට…

පළමු තරගය පරාජය වූ පීඩනය මධ්‍යයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ප්‍රධාන පුහුණුකරු දෙවන තරගයට පිවිසුණු අතර කණ්ඩායමට එල්ල වූ ප්‍රබලතම තර්ජනය වූයේ සුපිරි ක්‍රීඩක කවිඳු ඉශාන් ආබාධයක් නිසා තරගය ක්‍රීඩා නොකිරීමයි.

ප්‍රධාන පුහුණුකරු පකීර් අලි මහතා දෙවන තරගය වෙනුවෙන් කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කර තිබූ අතර එම වෙනස්කම් වූයේ මරියදාස් නිදර්ශන් වෙනුවට දිලිප් පිරිස් හා කවිඳු ඉශාන් වෙනුවට නවීන් ජූඩ් කණ්ඩායමට එකතු කිරීමයි.

තරගයේ දවන මිනිත්තුවේ දී මොහොමඩ් ෆාසිල්ගේ හරස් පන්දු යොමු කිරීමක් සිය හිසෙන් දැල වෙත යොමු කිරීමට දිලිප් පිරිස් උත්සහ කළ නමුත් ඔහුගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත.

මදුශාන් ද සිල්වා ගේ අත්වැරැද්දෙන් හිමි වූ නිදහස් පහරවල් වලින් ලාඕස ක්‍රීඩකයෝ කිහිපවතාවක්ම ශ්‍රී ලංකා අර්ධය ආක්‍රමණය කළ නමුත් ඔවුන්ගේ උත්සාහයන් ගෝල බවට පත්වූයේ නැත.

කෙටි පන්දු යොමු කිරීම්වලින් පන්දුව තමන් ළඟම තබා ගත් ලාඕස ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල කළත් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වරක් දෙවරක් නොව කිහිපවරක්ම පැතිපහර අවස්ථා දිනා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් එම අවස්ථා සාර්ථක කර ගැනීමට ඔවුන් අසමත් වූයේ අසාර්ථක පන්දු පිරිනැමීම් නිසයි.

25 වන මිනිත්තුවේ දී ලාඕසයට සිය පළමු ආසන්න අවස්ථාව හිමි වූ අතර Somax Keohanamගෙන් හා Thipphachanh Inthavongගෙන් කිසිවෙකුට යාර 15ක පමණ දුරක සිය පන්දුව ගෝලය වෙත යොමු කිරීමට හැකියාවක් ලැබුණේ නැත.   

පළමු තරගයේ දී මෙන්නොව මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ මැදපෙළ ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර එම නිසාම ලාඕස මැදපෙළට හා ආරක්ෂක ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට ඔවුන් සමත් විය.

39 වන මිනිත්තුවේ දී මීටර 25ක සිමාවේ සිට එල්ල වුණු නිදහස් පහරක් සාර්ථකව රැක ගන්නට සුජාන් පෙරේරා සමත් විය.

පළමු අර්ධය නිමා වීමට මොහොතකට පෙර හර්ෂ ප්‍රනාන්දුගේ පිටියට පන්දුව විසි කිරීමක් දිලිප් පිරිස්ගේ පා මුලට අපහසු කෝණයකින් වැටුණු අතර ඔහු ගෝලයක් සඳහා උත්සහ කළත් පන්දුව ඇදී ගියේ ගෝල රාමුවෙන් ඉවතටය.

පළමු අර්ධයේ හොඳින්ම ක්‍රීඩා කළ කණ්ඩායම වූයේ ශ්‍රී ලංකාවයි. ඔවුන් පැතිපහර අවස්ථා අටක් ලබා ගැනීමට සමත් වුනත් නිසි ලෙස ඉලක්කගත කළේ එක් ප්‍රහාරයක් පමණයි.

පළමු අර්ධය: ලාඕසය 00 – 00 ශ්‍රී ලංකාව

දෙවන අර්ධය ආරම්භයේ දී ලාඕස කණ්ඩායම ක්‍රීඩකයින් හුවමාරු කිරීම් හයෙන් හතරක්ම සිදු කිරීම විශේෂත්වයක්.

දෙවන අර්ධය ආරම්භයේ දී හර්ධ ප්‍රනාන්දු දිගු ප්‍රහාරයකට යොමු වූ අතර සියලු දෙනාම පුදුම කරමින් ලාඕස ආරක්ෂක ක්‍රීඩක Thinnakone Vongaගේ හිසේ වැදුණු පන්දුව ගෝල රකින්නා පසු කර දැල වෙත ගියේ ශ්‍රී ලංකාව තරගයේ පෙරමුණට ගෙන එමින්.  

67 වැනි මිනිත්තුවේ දී මදුශාන් ද සිල්වා වෙනුවට ශබීර් රසුනියා පිටියට පිවිසුණේ මෙම තරගාවලියේ දී ජාතික කණ්ඩායමට එක්වුණු දෙවන පාසල් ක්‍රීඩකයා බවට වෙමින්. පළමු තරගයේ දී පාසල් ක්‍රීඩක මොහොමඩ් ආකිබ් සිය මංගල තරගය ක්‍රීඩා කරන ලදි.

69 වැනි මිනිත්තුවේ දී සුජාන් පෙරේරා දිගු ප්‍රහාරයකින් පන්දුව සිය ඉදිරිපෙළ ඉලක්ක කරගනිමින් යොමු කළ අතර මොහොමඩ් ආකිබ් පන්දුව ලබාගෙන මීටර 30 සීමාවේ සිට අලංකාර පන්දු ප්‍රහාරයක් එල්ල කළේ ප්‍රතිවාදීන් අන්දමන්ද කරමිනි. ගුවනේ ඇදී ගිය පන්දුව අලංකාර ලෙස ගෝල රාමුව තුලින් දැල් තුල යොමු වූ අතර එම අලංකාර ගෝලය මෙම තරගාවලියේ ඔහු වාර්තා කළ දෙවන ගෝලය ද විය.  

ජූඩ් සමන්ගේ බාධා කිරීමක් නිසා 78 වැනි මිනිත්තුවේ දී ලාඕසයට දඬුවම් පහරක් සිදු වූ අතර එම තීරණයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිගු වෙලාවක් සිය විරෝධය පල කිරීම විශේෂත්වයක්.

විනිසුරු සමඟ වාදයක පැටලීම නිසා මොහොමඩ් ආකිබ් හට සිය දෙවන කහ කාඩ්පත හිමි වූ අතර ඒ සමඟම ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් ගණන 10කට සීමා කරමින්. ඔහුට පළමු කහකාඩ් පත හිමි වූයේ ගෝලයක් වාර්තා කිරීමෙන් අනතුරුව සිය ජර්සිය ගලවා ජය සැමරීම නිසයි. පළමු තරගයේ ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙසේ විනිසුරු සමඟ වාද කිරීම දක්නට ලැබීම විශේෂත්වයක්.

සන්සුන්ව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා විනිසුරු අතර ඇති වූ හබය බලා සිටි ලාඕස ක්‍රීඩක Soukaphone තරගය නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව එම දඬුවම් පහර සාර්ථක කර ගත්තේ සත්කාරක ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි.  

දිගින් දිගටම ලාඕස ක්‍රීඩකයින් ප්‍රහාරයේ යෙදුණු අතර 87 වැනි මිනිත්තුවේ දී ඔවුන්ගේ පැතිපහර උත්සහයකින් ක්‍රියාත්මක වූ හිසෙන් පන්දුව යොමු කිරීමකින් ශ්‍රී ලංකාව ගැලවුණේ නූලෙනි.

“ලෝක කුසලානයට වසර 1 ½ කට පෙර සියලු ක්‍රීඩාංගණ සාදා නිම කරනවා”

2022 FIFA පාපන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය දක්වන්නේ කටාර්…

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතේ තිබුණු ජයග්‍රහණය උදුරා ගත් Soukaphone 92 වැනි මිනිත්තුවේ දී සුජාන් පෙරේරාගේ හා ජූඩ් සමන්ගේ අතපසු වීමක් ප්‍රයෝජනයට ගනිමින් නිදහස්ව තිබුණු දැල වෙත පන්දුව යොමු කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේ ද හදවත් බිඳිමිනි.  

තවත් වතාවක් ජයග්‍රාහී ස්ථානයක සිට ශ්‍රී ලංකා කණ්ඩායම පසුබෑමකට ලක් වූ අතර පුහුණුකරු පකීර් අලි මහතා ද දැඩි නොසතුටින් සිටිනු දක්නට ලැබුණි.

අවසාන ලකුණු තත්වය: ලාඕසය 02 – 02 ශ්‍රී ලංකාව

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • ශ්‍රී ලංකාව –  Thinnakone Vonga (OG) 50’, මොහොමඩ් ආකිබ් 70’
  • ලාඕසය – Soukaphone 83’ 92’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<