ගෙවුනු දවස අගෝස්තු 20 – ශූරතාවය ත්‍රිත්ව විදුහලට

360

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

තවත් ලැජ්ජා සහගත පරාජයක්

1st-ODI-SLvIND

තරග 3-0ක් ලෙසින් නිමාවට පත්වුණු ටෙස්ට් තරගාවලිය නිමා වීමෙන් අනතුරුව ඇරඹුණු එක්දින තරගාවලියේ පළමු තරගය ද ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්කර දෙමින් අද (20) නිමාවට පත්විය. ඒ අනුව ශ්‍රී ලංකා පිළ දිගින් දිගටම දරුණු පරාජයන් අත්පත් කර ගනිමින් යන අසාර්ථකත්වයේ ගමන තවදුරටත් දීර්ඝ වනු විනා දියුණුවක සියුම් අරුණැල්ලක්වත් දැක ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

තරගය පැවැත්වෙන දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අවට ඊයේ සිට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතුණ ද අද දින තරගය නියමිත වේලාවටම ආරම්භ කිරීමට හැකි විය. එහි දී දෙපිළටම ඉතාමත්ම වැදගත් වන කාසියේ දිනා ගැනීමට සමත් වූයේ ඉන්දියානු නායක විරාත් කෝලියි. ඒ අනුව සියල්ලන්ම බලාපොරොත්තු වූ ආකාරයෙන් ප්‍රථමයෙන්ම පන්දු යැවීමට ඔහු තීරණය කළේය. අද සන්ධ්‍යාවේ වර්ෂාව ඇද හැලීමට ඉඩ ඇති බවට පැවසුණු අනාවැකිත්, ඉන්දියාව සාමාන්‍යයෙන් ලකුණු හඹා යෑමේ දී සුවිශේෂී දස්කම් දැක්වීමත් ඔහුගේ මෙම තීරණය තවදුරටත් පහසු කරන්නට ඇත.

සම්පූර්ණ වාර්තාව: ධවාන්ගේ ශතකය ඉදිරියේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්!


   රග්බි   

අපරාජිතව ශූරතාවය ජය ගනී

Trinity College U16 Rugby

වයස අවුරුදු 16න් පහළ සමස්ත ලංකා පාසල් රග්බි තරගාවලියේ දෙවන හා අවසන් දිනය වූ ඊයේ දිනය නිමාවට පත්වූයේ අවසන් මහා තරගයේ දී මහනුවර කිංස්වුඩ් විද්‍යාලය පරාජයට පත්කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරමිනි.

එහි අවසන් මහා තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර නියමිත මිනිත්තු 20ක කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු 12 බැගින් ලබා ගනිමින් සම තත්වයේ පසු වූ නිසා තරගය අතිරේක කාලය වෙත රැගෙන යාමට සිදු විය.

එහිදී පළමු උත්සාහක දිනුම වාර්තා කර ගනිමින් තරගයේ ජයග්‍රහණය හිමි කර ගත් ත්‍රිත්ව ක්‍රීඩකයින් අපරාජිතව තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරගාවලිය පුරාවට විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කළ ත්‍රිත්ව විද්‍යාලයේ ෂෙහාන් සිරිසෝම තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

සම්පූර්ණ වාර්තාව: ත්‍රිත්ව විද්‍යාලය අපරාජිතව ශූරතාවය දිනයි


   පාපන්දු   

15න් පහළ කණ්ඩායම තරගයෙන් විසි වෙයි

U15 SAFF Football

වයස අවුරුදු 15න් පහළ දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ අද (20) පැවැත්වූ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම භූතාන කණ්ඩායම හමුවේ ගෝල 06 – 00ක් ලෙස පරාජයට පත්විය. තරගය නේපාලයේ  ANFA පාපන්දු සංකීර්ණ පිටියේ දී පැවැත්විය.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වූ මෙම තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් විය. නමුත් භූතාන කණ්ඩායම එම බලාපොරොත්තු සුනුවිසුනු කරමින් බංග්ලාදේශය සමඟින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය.

සම්පූර්ණ වාර්තාව: භූතානය හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

දිනයක අවසානය