තරග 3-0ක් ලෙසින් නිමාවට පත්වුණු ටෙස්ට් තරගාවලිය නිමා වීමෙන් අනතුරුව ඇරඹුණු එක්දින තරගාවලියේ පළමු තරගය ද ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්කර දෙමින් අද (20) නිමාවට පත්විය. ඒ අනුව ශ්‍රී ලංකා පිළ දිගින් දිගටම දරුණු පරාජයන් අත්පත් කර ගනිමින් යන අසාර්ථකත්වයේ ගමන තවදුරටත් දීර්ඝ වනු විනා දියුණුවක සියුම් අරුණැල්ලක්වත් දැක ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

මාලිංගගේ සුවිශේෂී තරගයට පෙර

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ තරග 5කින් සමන්විත.

තරගය පැවැත්වෙන දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අවට ඊයේ සිට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතුණ ද අද දින තරගය නියමිත වේලාවටම ආරම්භ කිරීමට හැකි විය. එහි දී දෙපිළටම ඉතාමත්ම වැදගත් වන කාසියේ දිනා ගැනීමට සමත් වූයේ ඉන්දියානු නායක විරාත් කෝලියි. ඒ අනුව සියල්ලන්ම බලාපොරොත්තු වූ ආකාරයෙන් ප්‍රථමයෙන්ම පන්දු යැවීමට ඔහු තීරණය කළේය. අද සන්ධ්‍යාවේ වර්ෂාව ඇද හැලීමට ඉඩ ඇති බවට පැවසුණු අනාවැකිත්, ඉන්දියාව සාමාන්‍යයෙන් ලකුණු හඹා යෑමේ දී සුවිශේෂී දස්කම් දැක්වීමත් ඔහුගේ මෙම තීරණය තවදුරටත් පහසු කරන්නට ඇත.

අද තරගයේ දී වමත් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු මංගල එක්දින වරම් දිනා ගැනීමට සමත් විය. ඒ නිමාවුණු ටෙස්ට් තරගාවලියේ දී ඔහු දැක්වූ දක්ෂතා ද සැලකිල්ලට ගනිමිනි. කෙසේ වෙතත් අත්දැකීම් සහිත තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මිලින්ද සිරිවර්ධනට වඩා නවක ක්‍රීඩක වනිඳු හසරංග කෙරෙහි තේරීම් කමිටුව විශ්වාසය තබා ඇති බව පෙනී ගියේය. ඉන්දීය කණ්ඩායම ද අජින්ක්‍යා රහානේ, කුල්දීප් යාදෙව් වැනි ක්‍රීඩකයින් පසෙකින් තබා අක්සාර් පටෙල් සහ යුශ්වේන්ද්‍ර චහාල් කණ්ඩායමට කැඳවා තිබුණි.

ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක අද පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සාර්ථක ආරම්භයක් එක් කරන්නට සමත් විය. එම සබඳතාවය නිමා කරමින් ලකුණු 35ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක දැවී ගියේ අනවශ්‍ය රිවර්ස් ස්වීප් පහරක් කරා යොමු වෙමිනි. කෙසේ වෙතත් ඉන් අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගීමට කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල සමත් වීම නිසා ශ්‍රී ලංකා පිළට මුල් පන්දුවාර 20 ඉතාමත් සාර්ථක කර ගැනීමට හැකි විය.

ගැටලුව ඇතිවන්නේ එතැන් සිටයි. තරගය ආරම්භයේ සිටම ගොඩ නගාගත් දැඩි ආත්ම විශ්වාසය නිසා තම වටිනා කඩුල්ල පරදුවට තැබූ දික්වැල්ල අපරීක්ෂාකාරී පහරක් කරා යොමුවන්නේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. ඒ පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින කෙඩාර් ජාදෙව්ගේ පන්දුවක් හමුවේයි! දැවී යන විට නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 8ක් සමඟින් ලකුණු 64ක් රැස් කරගෙන සිටියේය. ඉන් සුළු මොහොතක් ගත වෙද්දී හොඳින් කල් මැන පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස්ව (36) දවා ගැනීමට ද අක්සාර් පටෙල් සමත් විය.

මුල්පෙළ පිතිකරුවන්, ලබාගත් ආරම්භයෙන් ප්‍රයෝජන නොගත් වටපිටාවක් යටතේ ඉනිම පිළිසකර කිරීමට උපුල් තරංග (13), චාමර කපුගෙදර (01), ඇන්ජෙලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා (0) වැනි අත්දැකීම් සහිත මැදපෙළක් ශ්‍රී ලංකාව සතු වුවද, ඔවුන් සියලු දෙනාම තම වගකීම පැහැර හැරියේ පාසල් ක්‍රීඩකයින්ටත් වඩා අන්ත ලෙසිනි. මෙවන් දියාරු පිතිකරණයක නිරත වීමේ වගකීම නම් සම්පූර්ණයෙන්ම ක්‍රීඩකයින් භාර ගත යුතුය.

මේ අයුරින් ලැජ්ජා සහගත ක්‍රීඩා රටාවක නිරත වන ශ්‍රී ලංකා පිළ ඉදිරියේ සැබෑ ජාත්‍යන්තර කණ්ඩායමක් අයුරින් හැසිරුණු ඉන්දීය කණ්ඩායම පන්දු යැවීමෙන් මෙන්ම පන්දු රැකීමෙන් ද ඉදිරියෙන් සිටියහ. එහි දී දඟපන්දු යවන්නන් වශයෙන් අක්සාර් පටෙල් ලකුණු 34කට කඩුලු 3ක් බිඳ හෙලද්දී යුශ්වේන්ද්‍ර චහාල් සහ කෙඩාර් ජාදෙව් කඩුලු 2 බැගින් දවා ගත්හ. මීට අමතරව දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාහ් ද ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියානුවන්ගේ පළමු කඩුල්ල ඉක්මනින්ම දවා ගැනීමට චාමර කපුගෙදරගේ විශිෂ්ට පන්දු රැකීමක් උපකාරී විය. එහි දී සීමා ඉර කරා දිව යද්දී තම පිත්ත අතහැරුණු රෝහිත් ශර්මා පාදයෙන් සීමාව සලකුණු කිරීමට උත්සාහ කරද්දී දැවී ගියේ ලකුණු 4ක් පමණක් ලබා සිටියදීයි. කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත දැවී යාමෙන් අනතුරුව කිසිදු අතපසුවීමක් සිදු නොකිරීමට ශිකර් ධවාන් සහ විරාත් කෝලි සමත් වූහ. ඒ ජාතික කණ්ඩායමක් නියෝජනය කරන පිතිකරුවෙකු දැරිය යුත්තේ කුමන ආකාරයේ වගකීමක් ද යන්න පිටියේ සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මනාව පැහැදිලි කරමිනි.

ශ්‍රී ලංකා පිළේ පන්දු යැවීම තමන්ට එතරම් තර්ජනයක් එල්ල නොකරන බව ඉක්මනින්ම වටහා ගත් ශිකර් ධවාන් එහි දී එක්දින තරගයකට වඩා විස්සයි විස්ස ඉනිමකට සමාන තරග රටාවක නිරත වන්නේ ඒ අනුවයි. ඔහු අද පන්දු 90ක් පමණක් වැය කරමින් වාර්තා කළ ලකුණු ගණන 132කි. එය ඉන්දීය ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකාවේ දී ලබාගත් වේගවත්ම ශතකය ලෙස ද වාර්තා පොත් අතරට එක්විය. ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට හතරේ පහර 20ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

ධවාන් සමඟ ලකුණු 200කට ආසන්න සුපිරි සබඳතාවයකට මුලපිරූ ඉන්දීය නායක විරාත් කෝලි ලකුණු 82යි. පන්දු 70ක් තුල දී වාර්තා වුනු ඔහුගේ සාර්ථක ඉනිම හතරේ පහර 10කින් සහ එක් හයේ පහරකින් ස්වයංපෝෂිත විය. පන්දු යැවීමේ දී කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු එකදු කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි වීම කණ්ඩායමට මේ වන විට තුන් ඉරියව්වෙන්ම අත්වී ඇති අවාසනාවන්ත ඉරණම පැහැදිලි කරන්නක් බවට පත්විය.

ඒ අනුව ඉන්දු – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය නිමාවට පත්වූයේ සංචාරක ඉන්දීය කණ්ඩායමට කඩුලු 9ක සුපිරි ජයක් හිමිකර දෙමිනි. තරගයේ වීරයා සම්මානය විශිෂ්ට ඉනිමක් දියත් කළ වමත් ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ට හිමි විය. දෙරට අතර මීළඟ එක්දින තරගය ලබන 24 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට 

Scorecard