ගෙවුණු දවස මාර්තු 9 – තියුණු තරගයක ජය සාන්ත බෙනඩික්ට් විදුහලට

688

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

රග්බි –

සත්කාරක ක්‍රීඩකයින් ආනන්ද විදුහල පරාජය කරයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (9) කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර පැවති අතර තියුණු තරගයකින් අනතුරුව ලකුණු 21-17ක් ලෙස තරගයේ ජය හිමි කර ගැනීමට සත්කාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් විය. තරගය සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

සම්පූර්ණ වාර්තාව: ආනන්ද විදුහල හමුවේ ජයග්‍රහණය සත්කාරකයින්ට


ක්‍රිකට් –

රන් මහා සටනේ සඳුන් අර්ධ ශතකයකට මාන බලයි

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර 68 වන වරට පැවැත්වෙන මොරටු රන් මහා සටන ඊයේ (09) මොරටුව ද සොයිසා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

උදෑසන පටන් එහි පැවතියේ තරමක් අඳුරු කාලගුණ තත්වයකි. කෙසේ නමුත් වර්ෂාව ඇදහැලෙන සේයාවක් දිස්නොවූ අතර ඒ අනුව තරගය නියමිත වේලාවට ආරම්භ විය. කාසියේ වාසිය දිනාගත් වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායමේ නායක සවිඳු සිරිවර්ධන පළමුව පන්දුවට පහරදීම සඳහා ප්‍රතිවාදී සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ආරාධනා කළේය.

සම්පූර්ණ වාර්තාව: පළමු දිනය අවසානයේ වේල්ස් කුමරුවන් පෙරමුණේ


මැංගුස් සටනේ පළමු දිනට වර්ෂාවෙන් බාධා

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය අතර 60 වැනි වරට පැවැත්වෙන මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ (09) පළමු දිනයට නිමා වූයේ අයහපත් කාලගුණ තත්ත්වයට ඉඩ ලබා දෙමිනි.

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මග්ගොන සරේ ගම්මානයට ඉහළ අහසේ පැවති අඳුරු වළාවන් සවස් යාමය වන විට වඩාත් තීව්‍ර වීම හේතුවෙන් පිටියේ විනිසුරුවන් වූ නිලන්ත බෝපගේ සහ තුෂාර ජයසිංහ සවස 3.50ට තරගය පළමු වරට නිතර කළේය. තත්ත්වය තව තවත් තීව්‍ර වීම හේතුවෙන් සවස 4.30ට තරගය පළමු දිනයට නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළේ දිනයේ යැවීමට තිබූ තවත් පන්දු වාර 31ක් අහිමි කර ගනිමිනි.

සම්පූර්ණ වාර්තාව: මැංගුස් හටනේ පළමු දිනයට කාලගුණය හරස් වේ


නිල් මහා සටනේ පළමු දිනයේ දී කළණගෙන් කඩුලු 3ක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය අතීතයකට හිමිකම් කියන මෙරට පැරණිතම පාසල් ක්‍රිකට් සංග්‍රාමය වන ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන නිල් මහා සංග්‍රාමයේ 139 වන දිග හැරුම ඊයේ (9) කොළඹ එස්. එස්. සී පිටියේ දී සනිටුහන් විය.

ඩයලොග් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් පවත්වනු ලබන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජකීය විද්‍යාල නායක පසිඳු සූරියබණ්ඩාර පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදී සාන්ත තෝමස් විද්‍යාලයට ආරාධනා කළේය.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 166/9d (64.3): සිතාර හපුහින්න 34, මන්තිල විජේරත්න 24, මනුල පෙරේරා 5/43.

රාජකීය විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 33/3 (15): කවිඳු මදරසිංහ 13*, කළණ පෙරේරා 3/16.

සම්පූර්ණ වාර්තාව: කළණගේ කඩුලු ත්‍රිත්වයෙන් වැඩි වාසිය සාන්ත තෝමස් කණ්ඩායමට

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්