ගුරුසිංහ ඕස්ට්‍රේලියාවේ ගිවිසුමකට

10307

1996 ලෝක කුසලානය ජයග්‍රහණ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ප්‍රබල ක්‍රීඩකයෙක් වූ අසංක ගුරුසිංහ මහතාව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Kingston Hawthorn ක්‍රිකට් සමාජයේ පිතිකරණ පුහුණුකරු ලෙස තෝරාගෙන ඇති බව එම ක්‍රිකට් සමාජය twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියි.

වයස අවුරුදු 19 දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත් ක්‍රීඩකයා – අසංක ගුරුසිංහ

ගුරුසිංහ මහතා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන අතර ලෝක කුසලාන අවසන් තරගයේ දී ඔහු දැක්වූ දායකත්වය හේතුවෙන් දේශබන්දු සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය. දැනට වසර ගණනාවක සිට ඕස්ට්‍රේලියාවේ වාසය කරන ගුරුසිංහ වසර ගණනක අත්දැකීම් සහිත තෙවැනි පන්තියේ සහතික ලත් ක්‍රිකට් පුහුණුකරුවෙකු වන අතර අවසන් වරට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රාදේශීය ක්‍රිකට් පුහුණු උපදේශකයකු වශයෙන් ද සේවය කළේය.

2017 වසරේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සහ තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙස වැඩකටයුතු කළ ගුරුසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ ක්‍රිකට් සංවර්ධන අංශය සඳහා යොමු කළ අතර ඉන්පසුව පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ඔහුගේ කොන්ත්‍රාත්ගත ගිවිසුම අවසන් වූ නමුත් එය නැවත අලුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර නොගැනීම නිසා ඔහු නැවතත් ඕස්ට්‍රේලියාවට පිටත්ව යන ලදි.

20-20 ලෝක කුසලානය ගැන ඕස්ට්‍රේලියාවෙන් මැසිවිලි

“ක්‍රිකට් ලොව බිහි වූ තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස තමයි අපි ඔහුව හඳුනා ගන්නේ, ඒ වගේම පුහුණුකරුවෙක්, කළමනාකරුවෙක් සහ තේරීම් කමිටු සාමාජිකයෙක් වගේම තවත් බොහෝ ආකාරයේ අත්දැකීම් රැසක් ඔහු සතුව තිබෙනවා. ඒ වගේම ඔහුට ඕස්ට්‍රේලියානු තණතීරු සහ ක්‍රීඩකයින් ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉදිරි තරග වාරය ඒ කියන්නේ 2020/21 ප්‍රාන්ත ක්‍රිකට් තරග වාරයේ අපේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ගුරුසිංහ මහතාව තෝරාගත්තේ අපි ගොඩක් හොඳට හිතලා බලලා” යැයි  Kingston Hawthorn ක්‍රිකට් සමාජයේ සභාපති වන බ්‍රෙට් සේබියර් මහතා පැවසීය.

Kingston Hawthorn ක්‍රිකට් සමාජය සිය නිල Twitter ගිණුමේ පළ කළ පණිවිඩය පහත දැක්වේ.


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<