ගියවර අනුශූරයෝ නැවතත් අනුශූරයින් කරන්නට මහානාමය සමත් වේ

94

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (10) කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ පැවති අවසන් මහා තරගයේ දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පරාජය කළ කොළඹ මහානාම විද්‍යාලය ශූරතාව දිනා ගැනීමට සමත් විය.  

15 පොඩ්ඩෙක්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ…..

පසුගිය වසරේ අහිමි වූ ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් වසරක් පුරා කළ වෙහෙසේත් කැප වීමේත් අග්‍රඵල නෙලා ගැනීමට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය මේ වසරේදීත් අසමත් වූ අතර ඔවුන්ට පෙර වසරේ සේ ම මේ වසරේත් අනුශූරතාවෙන් සෑහීමකට පත් වීමට සිදු විය. මෙම තරගයේ දී මහානාම විද්‍යාලයීය ක්‍රීඩකයන්ට කඩුලු 3ක ජයග්‍රහණයක් හිමි විය. 

කාසියේ වාසිය දිනූ මහානාම විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 196ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මහානාම විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 199ක් ලබා ගත්තේය. ඒ තවත් පන්දු 22ක් ඉතිරිව තිබිය දී ය.  

සාන්ත සෙබස්තියන් ඉනිම ආරම්භ කළේ සවිඳු රොද්‍රිගෝ සහ යෙශාන් අවිශ්ක විසිනි. ඔවුන් දෙදෙනා එක්ව තම පළමු කඩුල්ලට ලකුණු 18ක් රැස් කළ අතර ඉන් ලකුණු 17ක ම හිමිකාරීත්වය සවිඳු රොද්‍රිගෝ සතු විය. ඔහු ඒ වෙනුවෙන් පන්දු 12ක් වැය කළ අතර හතරේ පහර 2ක් සහ හයේ පහරක් එම ඉනිමට ඇතුලත් කළේය. 

Photos – Mahanama College Vs St. Sebastian’s College, Moratuwa | U17 Cricket Tournament 2019 | Final

අනතුරුව සාන්ත සෙබස්තියන් ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වාර්තා කිරීමට යෙශාන් අවිශ්ක සහ සුඛිත ප්‍රසන්න සමත් වූහ. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 52කි. යෙශාන් අවිශ්ක පන්දු 60ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටිය දී උඩ පන්දුවක් ලබා දෙමින් එම කඩුල්ලේ සබඳතාව නිමා කර ගත්තේය. 

අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10කට අඩුවෙන් තැබීමට මහානාම පන්දු යවන්නෝ සමත් වූහ. සංදේශ් ප්‍රනාන්දු (9), බිහඟ මෙන්ඩිස් (8), චකිල පෙරේරා (1), සඳුන් ප්‍රනාන්දු (0) සහ හිරුමාල් පෙරේරා (6) එසේ තම ඉනිම් හැර ගියහ. ඒ වෙද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 7කට ලකුණු 151ක් ලෙසිනි.

ඉන් අනතුරුව කඩුල්ලේ දී ලකුණු 35ක සබඳතාවක් එක් කිරීමට සුඛිත ප්‍රසන්න සහ හිරුමාල් පෙරේරා සමත් වූහ. එවර කඩුල්ල අහිමි වූයේ සුඛිත ප්‍රසන්න ගේ ය. එතෙක් සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් අගනා මෙහෙවරක් කරමින් සිටි සුඛිත ප්‍රසන්න ලකුණු 67කට දවා ගැනීමට මහානාමයේ සදිශාන් චමෝද්‍ය සමත් විය. ඒ වෙද්දී ඔහු පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 67ක් ලබා සිටියේය. ඔහු සාන්ත සෙබස්තියන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ද විය.

කමිඳුගේ අපතේ ගිය වික්‍රමයත් සමඟින් උණුසුම් අවසානයක්

ශ්‍රී ලංකා A සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති දෙවන නිල නොවන එක්දින….

සාන්ත සෙබස්තියන් ඉනිමේ යටි පෙළ ශක්තිමත් කිරීමට අශාන් ප්‍රනාන්දු වෙහෙසකර ගමනක් ගිය ද එම ගමන දුවද්දී දැවී යෑමකින් නිමා කිරීම ප්‍රතිවාදීන් සමත් විය. ඔහු 9 වැනි කඩුල්ල වෙනුවෙන් කළණ සංදීප සමඟ එක් වෙමින් ලකුණු 26ක් එක් කළහ. අශාන් තම කඩුල්ල පූජා කරද්දී පන්දු 23කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියේය. 

සාන්ත සෙබස්තියන් ඉනිම අවසන් වන විට කළණ සංදීප (9) නොදැවී අනෙක් අන්තයේ රැඳී සිටි අතර අවසන් කඩුල්ල ලෙසින් පිටියට පිවිසීමට නියමිතව සිටියේ ක්‍රිශාන් පෙරේරා ය. 

සාන්ත සෙබස්තියන් ඉනිම පාලනය කිරීමට සඳහා මහානාම නායකයා පන්දු යවන්නෝ 9 දෙනෙක්ම උපයෝගී කර ගත්ත ද කැපී පෙණෙන පන්දු යැවීමක නිරත වූයේ සදිශාන් චමෝද්‍ය සහ සන්තිල රෝහණ ය. ඔවුන් දෙදෙනා කඩුලු 2 බැගින් දවා ගත්හ. 

පිළිතුරු ඉනිම ආරම්භ කළේ සචිර වැලිවත්ත සහ පුල්ශාන් රෝහණ ය. ඔවුන් දෙදෙනා එක්ව මහානාමයන්ට ශක්තිමත් ආරම්භයක් ලබා ගත්හ. පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනාගේ එකතුව ලකුණු 59කි. පුල්ශාන් රෝහණ, කළණ සංදීපගේ පන්දුවකට උඩ පන්දුවක් දී දැවී යන විට පන්දු 40කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියේය. 

අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක සබඳතාවක් එක් කිරීමට සචිර වැලිවත්ත සහ විනුක රූබසිංහ සමත් වූහ. සචිර වැලිවත්ත පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද නිමා විය. 

මහානාමයේ නායක පවන් රත්නායක ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් දුවන්නට යෑමේ දී දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වූහ. ඒ වෙද්දී ඔහු රැස්කරගෙන සිටියේ ලකුණු 5ක් පමණි. 

ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසින්  විනුක රූබසිංහ පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 41ක් ලබා සිටිය දී දැවී ගියේය. ඒ වෙද්දී මහානාම විද්‍යාලය කියැවුනේ කඩුලු 4කට ලකුණු 130ක් ලෙසිනි. 

කුප්‍රකට ලෙදර් ජැකට්ටුවේ ටෙස්ට් තරගය

90 දශකයේ බොහෝ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම්වලට තිබූ ප්‍රබලතම අභියෝගයන්ගෙන් එකකි දකුණු….

එතැන් සිට තරගයේ යම් පාලනයක් තමන් සතු කර ගැනීමට සාන්ත සෙබස්තියන් පන්දු යවන්නෝ සමත් වූහ. එසේ වූවද අචින්ත සුපුන් (11) සහ අනුග බෙනරගම (8) අඩු ලකුණුවලට සීමා වෙද්දී නැවත වතාවක් මහානාම ඉනිම ගොඩ නැගීමට සදිශාන් චමෝද්‍ය සහ කවීෂ් දිසානායක සමත් වූහ. 

සදිශාන් චමෝද්‍ය පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත් අතර කවීෂ් දිසානායක තරගය නිමා වන විට පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා සිටියේය. ඔහුත් සමඟ අනෙක් අන්තයේ නොදැවී ලකුණු 2ක් ලබා ගනිමින් දේවින්ද කැකිරිදෙණිය රැදී සිටියේය. 

කඩුලු ලබා ගැනීමේ දී සඳුන් ප්‍රනාන්දු ලකුණු 44කට කඩුලු 3ක් දවා ගත්තේය. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; කඩුලු 9ක් දැවී 196 (50) සවිඳු රොද්‍රිගෝ 17, යෙශාන් අවිශ්ක 33, සුඛිත ප්‍රසන්න 67, අශාන් ප්‍රනාන්දු 25, සදිශාන් චමෝද්‍ය 2/25, සන්තිල රෝහණ 2/12

මහානාම විද්‍යාලය; කඩුලු 7ක් දැවී 199 (46.2) සචිර වැලිවත්ත 46, පුල්ශාන් රෝහණ 24, විනුක රූබසිංහ 41, සදිශාන් චමෝද්‍ය 20, කවීෂ් දිසානායක නොදැවී 32, සන්දේශ් ප්‍රනාන්දු 3/44

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<