ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් හට ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරගය අහිමි වී තිබේ. ඔහු තම දකුණු පාදයේ කෙණ්ඩා ආශ්‍රිත ආබාධයකට ලක්වූයේ ඊයේ (31) ඔස්ට්‍රේලියාව සමග පැවති 4 වන එක්දින තරගයේ දීයි.

පසුගිය ලිපි: තුන් ඉරියව් දස්කම් ඕස්ට්‍රේලියාවේ ජය මග සකසයි

එම තරගයේ පළමුවෙන් පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිමේ 27වන පන්දු වාරය තුල පිතිකරණයේ යෙදෙමින් සිටි මැතිව්ස් ඉක්මන් ලකුණක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම ආබාධයට ලක්විය. ඒ වනවිට ලකුණු 28ක් ලබා සිටි ඔහු පිටියෙන් ඉවත් වුවත් 8වන කඩුල්ල දැවී  යාමෙන් පසු ඉතා අසීරුවෙන් නැවත පිටියට පැමිණ ලකුණු 12ක් ලබා ගන්නට සමත් විය.

එම උත්සාහය අපතේ යවමින් ඕස්ට්‍රේලියානුවන් මේ තරගය කඩුලු 6කින් ජය ගත්තේ තරගාවලිය තුල අභිබවාලිය නොහැකි තරග 3 – 1ක වාසියක්ද අත්කර ගනිමිනුයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් එක්දින තරගය පැවැත්වෙන පල්ලෙකැලේ ක්‍රීඩාංගනය වෙත යන අතර ඇන්ජලෝ මැතිව්ස් අද (01) CT ස්කෑන් පරීක්ෂණයක් සඳහා කොළඹ බලා පැමිණීමට නියමිතයි. කෙසේ වෙතත් ආබාධය හේතුවෙන් බොහෝ දුරට මැතිව්ස් හට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය ද අහිමි වී යනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැතිව්ස් වෙනුවෙන් කණ්ඩායමට කැඳවන ක්‍රීඩකයෙක් තවමත් නම් කර නැහැ. කෙසේ වෙතත් ඔහුගෙන් පුරප්පාඩු වන නායකත්වයේ වගකීම උප නායක දිනේෂ් චන්දිමාල් හට පැවරෙනු ඇති.

“ඔහුගේ ආබාධය බැලු බැල්මට එතරම් හොඳ තත්ත්වයේ නොවෙයි පවතින්නේ, ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ඉදිරි තරග සියල්ල අහිමිවීමේ අවදානමක් ඔහුට තිබෙනවා” සිව්වන තරගය අවසානයේ දිනේෂ් චන්දිමාල් මාධ්‍ය වෙත පවසන ලදී.

වසර 4 කට පෙරද, පාදයේ කෙණ්ඩා ආශ්‍රිත ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පැවති CB කුසලාන තුන්-කොන් එක්දින තරගාවලියේ අවසන් තරගය සහ බංග්ලාදේශයේ පැවති ආසියානු කුසලාන තරගාවලිය මැතිව්ස් හට අහිමි විය. එමෙන්ම ආබාධ හේතුවෙන් කිහිප වරක්ම මැතිව්ස් හට පන්දු යැවීම අත්හැර පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කිරීමටද සිදුවී ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට