SAFF ජය ගන්න අරමුණින් ජාතික පාපන්දු කණ්ඩායමක් අරාබියට

දකුණු ආසියානු පාපන්දු ශූරතාවය - 2021

392

ලබන මායේ මාලදිවයිනේ දී ආරම්භ වීමට නියමිත SAFF පාපන්දු ශූරතාවය සඳහා වන මූලික සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පසුගිය දා නම් කළ අතර ඔවුන් විශේෂ පුහුණුවක් සඳහා මේ වන විට සවුදි ​අරාබිය වෙත ගොස් තිබෙනවා.

​මේ මූලික සංචිතය සඳහා අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන ජූඩ් සුමන් සහ කවිඳු ඉෂාන් ද ඇතුළත් අතර විදෙස් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ඇත්දැකීම් සහිත ක්‍රීඩකයින් වන වසීම් රාසීක්, මර්වින් හැමිල්ටන්, Duckson Puslas සහ ඩිලෝන් ඩි සිල්වා ද සංචිතයට ඇතුළත් කර ති​බෙනවා.

ඔවුන්ට අමතරව දේශීය පාපන්දු පිටියේ ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමේ දොරගුළු විවර කරමින් මෙවර SAFF තරගාවලිය සඳහා ඉතා ශක්තිමත් මූලික සංචිතයක් නම් කිරීමට පාපන්දු සම්මේලනය කටයුතු කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සවුදි අරාබි සංචාරය පිළිබඳව ThePapare.com වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ජස්වර් උමාර් මහතා ප්‍රකාශ කර සිටියේ,

“තරගාවලියේ පෙර සූදානම් පුහුණුවීම් කටයුතු සඳහා, සවුදි ​අරාබියේ රියාද් නුවර දී පුහුණුවීම් කටයුතුවල නිරත වෙලා ඉන්න ජාතික කණ්ඩායමට මෙය ඉතාමත් හොඳ අවස්ථාවක්. අපි මේ අවස්ථාව ලබා දුන්න සවුදි අරාබි පාපන්දු සම්මේලනය​ට සහ අපේ ක්‍රීඩා අමාත්‍යවරයාට ස්තූතිය පුද කරනවා.

අපේ කණ්ඩායම ඉතාම හොඳ මානසිකත්වයෙන් ඉන්නවා. අපේ කණ්ඩායම වෘත්තීය කණ්ඩායමකට අවශ්‍ය ඉහළම පහසුකම් සවුදි අරාබියේ දී ලැබිලා තියෙනවා. එහි දී ලබන පුහුණුව සහ අත්දැකීම් එක්ක ඉතාම හොඳ සූදානමකින් SAFF තරගාවලියට සහභාගී වෙන්න පුළුවන් කියල මම හිතනවා.

මෙම පුහුණු කඳවුර අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම සවුදි අරාබි ක්‍රීඩා සමාජ ද්විත්වයක් සමඟ පුහුණු තරග කිහිපයක් ​ද ක්‍රීඩා කිරීමට නියමිත බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම කටාර් රාජ්‍යයේ පුහුණු කඳවුරකට එක්වීමට සැලසුම් කර තිබූ නමුත් එම සැලසුම් වෙනස් වීම පිළිබඳව සභාපතිවරයා ප්‍රකාශ කළේ,

“අපි කටාර් රාජ්‍යයේ පුහුණුවීම් කටයුතුවලට අවශ්‍ය සියලූම පහසුකම් සූදානම් කරලයි තිබ්බේ. ඒත් ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යාප්තියේ අධි අවදානම් ටවල් අතර ඉ​ඳපු නිසා නිරෝධා​යන ක්‍රියාවලියකින් තොරව පුහුණුවීම්වලට එකතු වෙන්න ඉල්ලපු අවසරේ ලැබෙන්න පරක්කු වුනා, ​ඒ නිසා කණ්ඩායම සවුදි අරාබියේ පුහුණුවට යොමු කළා. නමුත් SAFF තරගාවලියෙන් පසු කණ්ඩායම කටාර් රාජ්‍යයේ පුහුණුවට යවන්න අපි සූදානම්”

SAFF තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම සහ නව පුහුණුකරුවන් පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ,

“අවුරුදු 26කට පස්සේ මේ වතාවේ SAFF කිරුළ අපි දිනා ගන්න ඕන කියන අරමුණින් තමා අපි යන්නේ. කණ්ඩායමේ හැමෝම මෙය ජය න්නවා කියන මානසිකත්වයේ ඉන්නවා.

නව පුහුණුකරුවන් මෙම තරගාවලියේ දී ජාතික කණ්ඩායමට සහය දීමට සහය පුහුණුකරුවන් විදියට අපි බඳවා ගත්තේ. මේ වෙලාවේ තියෙන කොරෝනා වසංගතය නිසා ආසාදනයක් සිදුවුනොත් අපිට අමතර අය ඕන වෙනවා. මේ පුහුණුකරුවන් දෙදෙනාම ඉතා හොඳ අය, ඒ දෙන්නගේ පැමිණීම කණ්ඩායමට විශාල ශක්තියක්.

මෙම පුහුණුකරුවන් මීට පෙර සිටම මේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශයේ ඉ​ඳන් හැමදේම හොටම දන්නවා. ඒ නිසා එයාලගේ අත්දැකීම කණ්ඩායම හොඳ ශක්තියක් වෙයි. අපි ඒ පුහුණුකරුවන්ට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ කණ්ඩායමට සහය දීමට ආව එක ගැන.

ඒ වගේම එංගලන්තයේ සිටින මර්වින් හැමිල්ටන් සහ ඩිලෝන් ඩි සිල්වා 23 වැනිදා සවුදි අරාබියට පැමිණ කණ්ඩායමට එකතු වෙන්න නියමිතයි. පුහුණුවීම් කටයුතුවලින් පසු 26 වැනිදා තරගාවලියට සහභාගී වන අවසන් ක්‍රීඩකයන් 23 නම් කරලා අනෙකුත් ක්‍රීඩකයන් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා”.

සවුදි අරාබියේ පුහුණුවීම් කටයුතුවල නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සවුදි අරාබියේ සිට ශ්‍රී ලංකාව හරහා මාලදිවයිනට පිටත්වීමට නියමිත බවත්, ඔවුන් මේ මස 28 වැනිදා SAFF ජෛව ආරක්ෂිත බුබු​ළට එක්වන බවත් සභපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින සහ නේපාලය යන කණ්ඩායම් 5 සහභාගී වන මෙවර SAFF ශූරතාවය ඔක්තෝබර් 01 වැනිදා සිට 16 වැනිදා දක්වා මාලදිවයිනේ ජාතික පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ කාලසටහන කිහිප වරක් වෙනස්කම්වලට භාජනය වුනා. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඔක්තෝබර් 01 වැනිදා පළමු තරගය ​සඳහා සහභාගී වීමට නියමිත අතර එදිනම රාත්‍රියේ මාලදිවයින නේපාලයට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අනෙකුත් තරග ඔක්තෝබර් 04 වැනිදා නේපාලය සමඟත්, ඔක්තෝබර් 07 වැනිදා ප්‍රබල ඉන්දියාව සමඟත් සහ අවසන් තරගය ඔක්තෝබර් 10 වැනිදා සත්කාරක මාලදිවයින සමඟත් පැවත්වීමට නියමිතයි.

දිනයේ පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4:30ටත්, දෙවැනි තරගය රාත්‍රි 9:30ටත් ආරම්භ වේ.

තරග 10කින් සමන්විත මූලික වට​යේ තරගවල​ට පසු ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් ඔක්තෝබර් 16 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් 8:30​ට මෙවර SAFF කිරුළ වෙනුවෙන් තරග වදිනු ඇත.

මේ වන විට පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 205 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව 1995 වසරේ SAFF කිරුළ දිනා ගැනීමෙන් පසුව මේ දක්වා කැපී පෙනෙන දක්ෂතාවයක් දැක්වීමට අසමත් වූ නමුත් මෙවර ඉතා ප්‍රබල කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතුවනවා නිසා යම් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අපේක්ෂා කිරීමට හැකි.

SAFF තරගාවලියේ දී ඉහළ දස්කම් දක්වා වසර 26කට පසුව SAFF කිරුළ ලක්මාතාවට දිනා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරමු.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්නපාපන්දු ක්‍රීඩා පිටුවට <<