ශ්‍රී ලංකාව පළමු තරග දෙකම පරාජයට පත්වෙයි

226

19 වන වරට පැවැත්වෙන ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය වියට්නාමයට එරෙහිව සහ දෙවන තරගය ප්‍රබල දකුණු කොරියාවට එරෙහිව තරග වට 3-0ක් ලෙස පරාජයට පත්වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු විය.

අපේ කාන්තාවන් ආසියාවෙන් කීයද?

ශ්‍රී ලංකා කාන්තාවන් අතීත ආසියානු වොලිබෝල් පිටියේ ප්‍රබල කණ්ඩායමකි…

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ පළමු තරගය වියට්නාම කණ්ඩායම සමඟ පැවති අතර ලෝක කාන්තා වොලිබෝල් ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව 114 වන ස්ථානයේ පසුවෙද්දී වියට්නාම කණ්ඩායම එහි 44 වන ස්ථානයේ පසුවෙයි. තරගයේ පළමු වටය ලකුණු 25-12ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබූ වියට්නාම ක්‍රීඩිකාවන් තරගයේ දෙවන වටය ද ලකුණු 25-14ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය.

අනතුරුව තරගයේ තෙවැනි වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් යම් වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවත් එම වටය ද ලකුණු 25-17ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට වියට්නාම ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අනුව ලකුණු 25-12ක්, 25-14ක් හා 25-17ක් ලෙස තරග වට 3-0ක් ලෙස ශ්‍රී ලංකාව තරගය පරාජයට පත්විය.

අනතුරුව ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය පැවතියේ 2015 වසරේ දී පැවති තරගාවලියේ අනුශූරතාවය දිනා ගනු ලැබූ ප්‍රබල දකුණු කොරියානු කණ්ඩායම සමඟයි. එම තරගයේ දී දකුණු කොරියාවට හොඳ තරගයක් ලබා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුවත් එම තරගය ද අවසන් වූයේ තරග වට 3-0ක් ලෙස ශ්‍රී ලංකාව තරගය පරාජයට පත්වෙමිනි.

ලෝක වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වල දකුණු කොරියාව පසුවන්නේ 10 වැනි ස්ථානයේ ය. කෙසේ නමුත් 114 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගයේ දී ඔවුන්ට තරමක අභියෝගයක් එල්ල කරන්නට සමත් විය. නමුත් ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ දකුණු කොරියාව තරග වට 3-0ක් ලෙස තරගයේ ජයග්‍රහණය වාර්තා කර ගන්නට සමත් විය. තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 25-14ක්, 25-17ක් හා 25-13ක් වශයෙනි.

මීට සතියක පමණ කාලයකට පෙර පැවති ලෝක ගෝන් ප්‍රී තරගාවලියේ 2 වන කාණ්ඩයේ පෝලන්තය සමඟ පැවති අවසන් තරගයට ක්‍රීඩා කරනු ලැබූ දකුණු කොරියානු කණ්ඩායමේ කිම් යොන් කොන් පළමු තරගයේ දී මෙන් මෙම තරගයට ද ක්‍රීඩා කරනු ලැබුවේ නැත. තරගාවලියේ පළමු තරගයේ දී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ප්‍රබල ජයග්‍රහණයක් වාර්තා කර ගත් දකුණු කොරියානු ක්‍රීඩිකාවන්ගේ පන්දු පිරිනැමීම මෙම තරගයේ දී ඉතා දුර්වල මට්ටමක පැවතුණි.

කෙසේ නමුත් එය ප්‍රධාන පුහුණුකරු හොං සුන්ජින්ගේ තරුණ දකුණු කොරියානු ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණයට බාධාවක් නොවූ අතර තරගය අවසානයේ තවදුරටත් තරගාවලියේ අපරාජිත වාර්තාව ආරක්ෂා කර ගන්නට ඔවුන් සමත් විය.

“කිම් යොන් කොන් අද සහ හෙටත් විවේක ගන්වලා තියෙන්නේ. නමුත් ඇය සූදානම් වෙලා කණ්ඩායමට එක්වීමත් සමඟ තරගාවලියේ ඉදිරියට යද්දී කණ්ඩායමක් වශයෙන් අපි තවත් ශක්තිමත් වෙයි.”

හොං සුන්ජින් මහතා පවසා සිටියේ ය.

“කණ්ඩායමේ තරුණ ක්‍රීඩිකාවන් පැවති පළමු වටයේ තරගවල දී ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඔවුන් අපි බලාපොරොත්තු වුන පරිදි හොඳින් ක්‍රීඩා කරනවා. ඒ නිසා තමයි අපිට මේ තරගයත් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ.”

ඔහු තවදුරටත් පවසා සිටියේ ය.

ඒ අනුව මෙම තරගයේ දී වොං මින්ක්‍යෝ൦ ලකුණු 16ක් වාර්තා කර ගැනීමට සමත් වූ අතර පාක් ජොන්ගා ලකුණු 10ක් වාර්තා කර ගැනීමට සමත් විය.

දකුණු කොරියාව C කාණ්ඩයේ පෙරමුණේ පසුවෙමින් තරගාවලියේ පළමු වටය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් වියට්නාමය සමඟ ඔවුන්ගේ පළමු වටයේ අවසාන තරගයට හෙට (11) සහභාගී වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට