සිම්බාබ්වේ පිලේ පාකිස්‌තානු සංචාරයට අයි. සී. සී. යෙන් නිලධාරීන් නෑ

119

දෙපාර්ශ්වයේ එකඟතාවය පරිදි සිම්බාබ්වේ කණ්‌ඩායමේ පාකිස්‌තානු තරග සංචාරය යොදාගත් නමුදු පාකිස්‌තානය තුළ පවතින අස්‌ථාවර ආරක්‍ෂක තත්ත්වය මත එම තරගාවලිය සඳහා තම නිලධාරීන්ගේ සේවය ලබා නොදීමට ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය තීරණය කර තිබේ.

2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට ලාහෝර් හිදී එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසු විදෙස්‌ කණ්‌ඩායමක්‌ පාකිස්‌තානයේ තරග සංචාරය නිරත වන පළමු අවස්‌ථාව වශයෙන් මෙය සටහන් වුවත්, කරච්චි නුවරදී සිදුවූ බෝම්බ පිපිරීමත් සමග එහි ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි යෑයි අයි. සී. සී. ය නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන එක්‌දින තරග 3 කින් සහ පන්දුවාර විස්‌සයි/20 තරග 2 කින් සමන්විත තරගවලට තරග විනිශ්චය කටයුතු සහ තීරකවරයන් ලබා දීමට හැකියාවක්‌ නොමැති බව ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කර සිටියි. දේශීය තරග තීරකයන් මෙන්ම විනිසුරුවන් භාවිතයෙන් මෙම තරගාවලිය පැවැත්වෙන නමුත් මෙය නිල ජාත්‍යන්තර තරග වශයෙන් පැවැත්වෙනු ඇති බවද සඳහන් වේ. අදාළ තරග සංචාරය සඳහා සිම්බාබ්වේ පිල අද (20 දා) පාකිස්‌තානයට පැමිණ අතර පළමු එක්‌දින තරගයට මෙම 22 දා ලාහෝර්හිදී තරග වැදීමට නියමිත වේ.