ශ්‍රී ලංකා මූලික සංචිතයේ සිටි 6ක් හැලෙයි

38069

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා අවසන් එක්දින සංචිතය අද (24) ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කළේය. 

බංගලියන් ශානක සහ ජයසූරියගේ උත්සාහයන් අපතේ යවයි

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ …..

මෙම ක්‍රීඩකයින් 16 තෝරාගනු ලැබීම සිදු කළේ පසුගිය 19 වැනිදා තෝරාගත් මූලික එක්දින සංචිතයේ සිටි ක්‍රීඩකයින් අතරින් වන අතර එම මූලික සංචිතයේ සිටි නිරෝෂන් දික්වැල්ල, දනුෂ්ක ගුණතිලක, අමිල අපොන්සු, ලහිරු මදුසංක හා ලක්ෂාන් සඳකැන් යන ක්‍රීඩකයින් හට අවසන් එක්දින සංචිතයේ ඉඩක් ලැබී නොමැත. කෙසේ නමුත් මෙම තරගාවලිය අතරතුර ක්‍රීඩකයෙක් හට ආබාධයක් ඇති වුවහොත් ඒ වෙනුවෙන් සංචිතයට ආදේශ කිරීම වෙනුවෙන් එම ක්‍රීඩකයින්ව සූදානමින් තබා තිබේ.

එසේම මේ තරගාවලියේ පළමු එක්දින තරගය අවසන් වීමට පසුව ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා අතර ඒ නිසාවෙන් දසුන් ශානක දෙවන හා තෙවැනි එක්දින තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇත.

වයස අවුරුදු 27ක් වන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පුහුණු එක්දින ක්‍රිකට් තරගයේ දී පන්දු 63ක් තුල නොදැවී ලකුණු 86* වාර්තා කරගෙන සුපිරි පිතිකරණයක නිරත විය. එම තරගයේ දී නිරෝෂන් දික්වැල්ල, අමිල අපොන්සු හා දනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් දස්කම් අතරට පැමිණීමට අපොහොසත් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල මෙම කණ්ඩායම් දෙක මේ දක්වා එක්දින ක්‍රිකට් තරගාවලි 7කට මුහුණ දී තිබෙන අතර ඉන් තරගාවලි 6කම ජය තහවුරු කරගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. කෙසේ නමුත් බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පමණක් සඳහා තරග වැදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවසන් අවස්ථාවේ දී එම තරගාවලිය තරග 1-1ක් ලෙස සම වීමෙන් අවසන් විය. 

ශ්‍රී ලංකා එක්දින සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, ශෙශාන් ජයසූරිය, ධනංජය ද සිල්වා, අකිල දනංජය, වනිඳු හසරංග, තිසර පෙරේරා, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග (පළමු එක්දින ක්‍රිකට් තරගයට) දසුන් ශානක (දෙවන හා තෙවන එක්දින ක්‍රිකට් තරගයට)

  • ජූලි 26 – පළමු එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 28 – දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 31 – තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<