හරීන්ගේ පන්දුවට පැට්රික් පිතිකරණය දෙදරයි

613

සිංගර් ආයතනය මගින් අනාගත ශ්‍රී ලංකා කණ්ඩායම සවිමත් කිරීම සඳහා පාසල් මට්ටමින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහල අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තවත් තරඟ 3ක් ඊයේ (17)  නිමාවට පත්විය. මෙම තරඟ වලින් ආනන්ද, තර්ස්ටන් හා සාන්ත ජෝශප් යන විද්‍යාලය ජයග්‍රහණ ලබාගැනීමට සමත් විය.

පසුගිය ලිපි: ශාන්ත ජෝසප්, ආනන්ද සහ තර්ස්ටන්ට ප්‍රථම දිනයේ වැඩි වාසි

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරඟය

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පැවැත්වෙන මෙම තරගය පෙරේදා (16) ආරම්භ විය.  කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන් විද්‍යාල කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

ඒ ඇරයුමින් පිටියට පැමිණි ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩකයින්ට පළමු ඉණිම තුළ සාර්ථක ලකුණකට යාමට තිබූ ඉඩකඩ තර්ස්ටන් විද්‍යාලයේ නිපුණ ලක්ෂාන් විසින් උදුරාගන්නා ලදි. ඔහු පළමු ඉණිම තුළ ලකුණු 33කට කඩුලු 5ක් දවාලීමට සමත් වූ අතර ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් මහීම වීරකෝන් ලකුණු 39ක් ලබාගනිමින් පළමු ඉණිම තුළ ධර්මපාල විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභියා විය.

ධර්මපාල විද්‍යාලය පළමු ඉණිම – 118-10 (40.3) මහීම වීරකෝන් 39, ගිම්හාන් පෙරේරා 25, නිපුණ ලක්ෂාන් 5/33, තුෂාල් මදුසංක 2/24

අනතුරුව තම පළමු ඉණිම ආරම්භ කල තර්ස්ටන් කණ්ඩායම වෙනුවෙන් ප්‍රගීශ මෙන්ඩිස් අගනා පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 100*ක්  ලබාගන්නා ලදි. ඔහු සමඟ එක්වුණු සවන ප්‍රභාශ් ලකුණු 58ක් ලබාගෙන තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 270ක ලකුණකට යාමට අවශ්‍ය පසුබිම සකසන ලදි.

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – 270-5 dec (63.1) ප්‍රගීශ මෙන්ඩිස් 100*, සවන ප්‍රභාශ් 58, චරන නානායක්කාර 47, කසුන් අබේරත්න 41, ඩිල්ශාන් ද සිල්වා 2/94

පළමු ඉණිම තුළ වූ අඩුපාඩුකම් තරමක් දුරට මඟහරවා ගෙන ධර්මපාල විද්‍යාල ක්‍රීඩකයින් දෙවන ඉණිම තුළ  ක්‍රීඩා කලද එම ඉණිම තුළද ධර්මපාල පිතිකරණය අසරණ කරමින් කඩුලු 3 බැගින් දවාලීමට සවන ප්‍රභාශ් හා තුෂාල් මදුසංක සමත් විය. පළමු ඉණිම තුළ මෙන්ම දෙවන ඉණිම තුළ ද මහීම වීරකෝන් තම කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

ධර්මපාල විද්‍යාලය දෙවන ඉණිම166-10 (61) මහීම වීරකෝන් 38, අවිශ්ක හසරින්ද 32, සවන ප්‍රභාශ් 3/18, තුෂාල් මදුසංක 3/55, නිපුණ ලක්ෂාන් 2/46

අවසානයේ ලකුණු 15ක් පමණක් තම ජයග්‍රහණය සඳහා තර්ස්ටන් විද්‍යාලයේ කණ්ඩායමට ලබාගැනීමට තිබූ අතර ඔවුන් එම ඉලක්කය පන්දුවාර එකයි පන්දු දෙකක් තුළ හඹායමින් වේගවත් පිතිකරණයක නිරත විය.

තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉණිම18-0 (1.2)

තර්ස්ටන් විද්‍යාලය මෙම තරඟය කඩුලු 10කින් ජයග්‍රහණය කරන ලදි.


ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරඟය

පනාගොඩ යුධ හමුදා පිටියේදී පැවැත්වූ මෙම තරඟය පෙරේදා (16) ආරම්භ වූ අතර මෙහිදී කාසියේ වාසිය දිනාගත් ආනන්ද විද්‍යාලීය කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

පළමුව පිටියට පැමිණි මහින්ද විද්‍යාලය වෙනුවෙන් කවිදු එදිවීර ලකුණු 35ක් ලබාගැනීමට සමත් වූ අතර කෙවින් ලකුණු 33ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබාගන්නා ලදි. අසේල සිගේරා හා දිලීප ජයලත් ආනන්ද විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3 බැගින් දවාලන ලදි.

එම ඉණිමට පිළිතුරු ලෙස ආනන්ද විද්‍යාලය වෙනුවෙන් සුපුන් වරාගොඩ ලකුණු 51*ක් නොදැවී ලබාගනිමින් ආනන්ද විද්‍යාලය, මහින්ද විද්‍යාලයට සාපේක්ෂව ස්ථාවර මට්ටමකට ගෙනඑන ලදි. ප්‍රගීත් මලින්ත මෙම ඉණිම තුළ කඩුලු 3ක් දවාලන ලදි.

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – 241-09 dec (65.1) සුපුන් වරාගොඩ 51*,කවිශ්ක අංජුල 39, කවිදු ගිම්හාන 36, සහන් සුරවීර 32, කමේෂ් නිර්මාල් 27, ප්‍රගීත් මලින්ත 3/35

ආනන්ද විද්‍යාලය තම  පළමු ඉණිම අත්හිටුවීමෙන් පසු තම දෙවන ඉණිම ආරම්භ කල මහින්ද විද්‍යාලය, තරගයේ දෙවන දිනය තුළ කඩුලු 10ම නොදැවී තබාගෙන ක්‍රීඩා කිරීමට වීශාල වෑයමක් දරන ලදි. ඒ ඉණිමක පරාජයෙන් ගැලවීම සඳහාය. පළමු ඉණිම තුළ මෙන්ම දෙවන ඉණිම තුළ ද කෙවින් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 52*ක් නොදැවී රැස්කර ගැනීමට සමත් විය. සම්මු අශාන් කඩුලු 4ක් දවාලන ලදි.

මහින්ද විද්‍යාලය දෙවන ඉණිම – 133-07 (71) කේ. කෙවින් 52*, විනුර හිරන්ජිත් 42, සම්මු අශාන් 4/61

ආනන්ද විද්‍යාලය පළමු ඉණිමක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.


මරඳාන සාන්ත ජෝශප් විද්‍යාලය හා පැට්රික් විද්‍යාලය අතර තරඟය

සාම්ප්‍රදායිකව පැවැත්වෙන මෙම ක්‍රිකට් තරඟය RECTORS කුසලානය සඳහා තරග වදින අතර තරගය පෙරේදා (16) පැට්රික් විද්‍යාලයේ ක්‍රිකට් පිටියේදී ආරම්භ විය. අවසානයේ දී  මරඳාන සාන්ත ජෝශප් කණ්ඩායම ඉණිමක හා ලකුණු 191ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල පැට්රික් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

ඒ ඇරයුම ඇතිව පළමු ඉණිම දියත් කල සාන්ත ජෝශප් කණ්ඩායම වෙනුවෙන් දිනෙත් මදුරාවල ලකුණු 101*ක් නොදැවී ලබාගත් අතර ඔහු දැවැන්ත ලකුණකට සාන්ත ජෝශප් විද්‍යාලය ඔසවා තැබීමට සමත් විය. ඔහුගේ ඉණිමට වටිනාකමක් එකතු කරමින්  ජෙහාන් ඩැනියල්, රීවන් කෙලී , නිපුණ සුමනසිංහ අර්ධ ශතක වලින් පැට්රික් පන්දු යවන්නන්ට සංග්‍රහ කරන ලදි.

සාන්ත ජෝශප් කණ්ඩායම පළමු ඉණිම – 386-05 dec (63) දිනෙත් මදුරාවල 101*, ජෙහාන් ඩැනියල් 70, රීවන් කෙලී 69,  නිපුණ සුමනසිංහ 68, පහන් පෙරේරා 37, එන්.මුනික් 2/110, ජී. රතීශාන් 2/88

සාන්ත ජෝශප් විද්‍යාලයට එදිරිව පළමු ඉණිම ආරම්භ කල පැට්රික් විද්‍යාලයට පළමු ඉණිම  තුළ ලකුණු 83ක් වැනි අවම ලකුණු මට්ටමකට සීමාවීමට සිදුවූ අතර හරීන් කුරේ සාන්ත ජෝශප් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 5ක් ලකුණු 13ක් තුළ දවාලීමට සමත් විය.

පැට්රික් විද්‍යාලය පළමු ඉණිම – 83-10 (40.5) ජේ.අනුජාන් 15, හරීන් කුරේ 5/13, ජෙහාන් ඩැනියල් 2/19

නැවතත් තම දෙවන ඉණිම ආරම්භ කල පැට්රික් විද්‍යාලයට එම ඉණිම තුළ ද සාර්ථක වීමට නොහැකි විය. මෙම ඉණිම තුළද හරීන් කුරේ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින්  කඩුලු 6ක් දවාලන ලදි.

පැට්රික් විද්‍යාලය දෙවන ඉණිම (f/o) – 112-10 (43) පී.බර්ට්රික් 29, හරීන් කුරේ 6/18, හවින් පෙරේරා 2/40

සාන්ත ජෝශප් විද්‍යාලය එක් ඉණිමක හා ලකුණු 191ක දැවැන්ත ජයක් ලබාගැනීමට සමත් විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට