පසුගිය පෙබරවාරි මස 20 වන දින ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් නිකුත් කරන ලද නවතම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව 206 වන ස්ථානය කරා පහතට වැටී ඇත.
පසුගිය ජනවාරි මාසයේ දී පැවති Bangabandhu රන් කුසලාන පාපන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම කාණ්ඩ තරග වටයේ සහභාගී වූ තරග දෙකම පලස්තීන සහ බංග්ලාදේශ කණ්ඩායම් හමුවේ පිළිවෙලින් ගෝල 2-0ක් හා ගෝල 3-0ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් මේ ආකාරයට ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීම් වල 205 වන ස්ථානයේ සිට 206 වන ස්ථානය දක්වා පහත වැටී ඇත. මෙය ශ්‍රී ලංකාව පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම් වල වාර්තා කරගත් ඉතිහාසයේ පහතම ස්ථානය වන අතර ඒ අනුව එහි අවසන් ස්ථානය වන 210 වන ස්ථානය සඳහා ඔවුන්ට තවත් ඉතිරිව ඇත්තේ ස්ථාන 4ක් පමණි.
හිටපු ප්‍රධාන පුහුණුකරු නිසාම් පකීර් අලි යටතේ ඔහුගේ ධූර කාලය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර ඒ අනුව ඔවුන් 2018 ජනවාරි මාසයේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල 200 වන ස්ථානයේ සිට පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විට 205 වන ස්ථානය දක්වා පහත වැටී තිබුනි. පකීර් අලි ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ මෙන්ම වයස අවුරුදු 23න් පහළ ජාතික කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබූ අතර එහිදී ඔහු යටතේ සහභාගී වූ තරග 22න් 16ක්ම එම අදාළ කණ්ඩායම් පරාජයට පත්වන විට ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ එක් තරගයක් පමණි.

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ ‘H’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එහි අවසන් ස්ථානයේ පසුවන අතර එම වටයේ තවත් තරග 3ක් ඉතිරිව පැවතියත් ඔවුන් මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසිවී අවසන් ය.

තවත් කියවන්න;
- Barcelona සීතල යුද්ධය හමුවේ Messi කණ්ඩායම හැර යයි ද?
- Real Madrid ක්‍රීඩාංගණයේ නවීකරණයෙන් එක් අසුනක් අහිමි වේ
- තුර්කිමේනිස්ථාන ලීගය ක්‍රීඩාලෝලීන් ද සහිතව ආරම්භ කිරීමට සූදානමින්
- අවිශ්වාසය සහ සොහොයුරාගේ කේන්තියත් හේතුවූ Pogbaගේ තීරණය
පසුගිය පෙබරවාරි මාසයේ දී නිකුත් කරනු ලැබූ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව වේල්ස් සහ පැරගුවේ රාජ්‍යයන් එක් ස්ථානය බැගින් පහතට වැටෙමින් පිළිවෙලින් 23 හා 41 වන ස්ථානත් හිමිකර ගෙන සිටියි. තවද Estonia, Trinidad & Tobago, Mozambique සහ Kenya රාජ්‍යයන් ද එක් ස්ථානයකින් ශ්‍රේණිගත කිරීම් වල පහතට වැටී ඇත.
තවද FIFA විසින් පසුගිය 09 වන දින ද ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල යාවත්කාලීන කිරීමක් සිදුකර ඇතත් එහි සිදුව ඇති එකම වෙනස්කම වන්නේ දකුණු සුඩානය එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් මේ වන විට බර්මියුඩා රාජ්‍යය සමඟ සම 168 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් වීමයි.
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<






















