ගනර්, නිත්‍ය වශයෙන්ම අවි ගබඩාව අතට ගනියි

129
en.as.com

හිටපු නෝවීජියානු පාපන්දු ක්‍රීඩක, වත්මන් මැන්චෙස්ටර් යුනයිටඩ් වැඩ බලන කළමනාකරු ඔල් ගනර් සෝක්‍ෂා (Ole Gunnar Solskjaer) එහි නිත්‍ය කළමනාකරු බවට පත්කොට ඇතැයි වාර්තා වේ.

මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ ’90 දශකයේ ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු සහ ගෝල රැස්කිරීමේ විශේෂඥයෙකු ලෙස සැලකුණු සෝක්‍ෂාව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ වැඩබලන කළමනාකාරීත්වයට කැඳවනු ලැබූයේ පසුගිය දෙසැම්බර් මාසයේ දී හිටපු කළමනාකරු හොසේ මරීඥෝ (Jose Mourinho) ව ඉවත් කිරීමෙන් අනතුරුවයි.

Video – සැරට වචන කියන, කියන දෙයම කරන – Zlatan Ibrahimovic

ස්ලටන් ඉබ්‍රාහිමෝවිච් නමැති ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩකයා ගැන…

එතැන් සිට මේ 46 හැවිරිදි නව කළමනාකරුවා සමඟින් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ශීඝ්‍ර දියුණුවක් පෙන්වූ අතර ඔවුන් සහභාගී වූ තරග 19කින් 14ක්ම ජය ගන්නට සමත් විය. පෙර පුහුණුකරු වූ මරීඥෝගේ සැලසුම්වල තිබූ අනම්‍ය ස්වභාවය සහ ඒවාට අනුගත වීමට ක්‍රීඩකයන්ට තිබූ අපහසුව නිසා මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මරීඥෝ සමඟින් සහභාගී වූ අවසන් තරග කිහිපයක්ම පරාජය විය. ඔහුගේ ජයග්‍රහණ ප්‍රතිශතය 58.3%ක තිබුණ ද, වැලෙන්සියා සහ ලිවර්පූල් යන කණ්ඩායම්වලට එරෙහිව පිට පිට ලද පරාජයන් නිසා ඔහුව තනතුරින් නෙරපීමට මැන්චෙස්ටර් යුනයිටඩ් බලධාරීන් තීරණය කළේය.

“මම ආපු පළවෙනි දවසේ ඉඳන්ම මේ සුවිශේෂී ක්‍රීඩා සමාජය මට දැනුණේ ගෙදර වගේ.” සෝක්‍ෂා එසේ කියයි.

’90 දශකය දිග්විජය කළ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය 1992 සිට 2001 වර්ෂය දක්වා පැවැත්වූ සෑම එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියකම ජයග්‍රාහකයන් බවට පත්විය. 1998/99 තරග වාරයේ දී ඔවුන් විසින් ප්‍රිමියර් ලීග් ශූරතාවය, FA කුසලානය සහ යුරෝපියානු ශූරයන්ගේ කුසලානය යන ත්‍රිත්ව ශූරතාවයන් දිනා ගැනීමට සමත්වූ අතර සෝක්‍ෂා එම කණ්ඩායමේ ඉදිරිපෙළ ප්‍රහාරකයෙකි. එමෙන්ම ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයේ දී බයර්න් මියුනික් කණ්ඩායමට එරෙහිව වාර්තා වූ ගෝල 2-1ක ජයග්‍රහණයේ දී අවසන් මිනිත්තුවේ ගෝලය රැස්කළේ ද ඔහු ය.

“මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩකයෙකු වන්නට ලැබීම ගෞරවයක්. ඒ වගේම කළමනාකරණ දිවිය මෙහි ඇරඹීමත්.” සෝක්‍ෂා පවසන්නේ සතුටිනි.

මැන්චෙස්ටර් යුනයිටඩ් ඉතිහාසයේ වඩාත් බැබළෙන කළමනාකරු ශ්‍රීමත් ඇලෙක්ස් ෆර්ගසන්ගෙන් පසුව කණ්ඩායමේ සංස්කෘතිය සහ ශක්‍යතාවයන් මැනවින් හඳුනා ගත් ප්‍රබල කළමනාකරුවෙකුගේ අවශ්‍යතාවය ඔවුන්ට දැඩිව දැනිණි. ෆර්ගසන්ගෙන් පසුව නොයෙක් කළමනාකරුවන් සමඟින් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ශූරතා ජයගෙන තිබුණ ද ඒ කිසිදු කළමනාකරුවෙකු ෆර්ගසන් තරම් ක්‍රීඩා සමාජයේ යාව ජීව සේවකයෙකු වූයේ නැත.

ශ්‍රීමත් ඇලෙක්ස් ෆර්ගසන්

දැන් ඊට හොඳම අවස්ථාව එළඹ තිබේ. ක්‍රීඩකයන් සහ කළමනාකරු සෝක්‍ෂාගේ ඒකාබද්ධතාවය ඉතාම හොඳ මට්ටමක ඇති බැව් මෙතෙක් ක්‍රීඩා කෙරුණු තරගවල දී පෙනෙන්නට තිබුණි.

සෝක්‍ෂා යටතේ ඔවුන් යුරෝපා ශූරයන්ගේ කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට ඇතුළත් වූයේ ප්‍රබල පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පරාජය කරමිනි. කණ්ඩායමේ විශ්වාසය ගොඩනැගීම සහ පිටිය මැද දී නිදහස ලබා දීම ගැන ප්‍රංශ ජාතික, මැන්චෙස්ටර් යුනයිටඩ් මැදපෙළ ක්‍රීඩක පෝල් පොග්බා, වත්මන් කළමනාකරු ගැන ප්‍රශංසාවෙන් අදහස් පළකළේය.

මැන්චෙස්ටර් යුනයිටඩ්  ක්‍රීඩා සමාජයේ දෙවැනි ප්‍රධාන විධායක එඩ් වුඩ්වර්ඩ් මහතා ද පසුවන්නේ විශ්වාසයෙනි.

“මේ හැමදෙයකින්ම අඟවන්නේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ඉදිරියට ගෙන යාම සඳහා ගැලපෙනම කෙනා ඔහු (සෝක්‍ෂායේ) බවයි. මෙතෙක් කර තිබෙන සෑමදෙයක් වෙනුවෙන්ම මම ඔල් සහ පුහුණු කාර්යමණ්ඩලයට ස්තුති කරන්නට ඕන, මේ ඉතාම සුදුසු තනතුර ඔහුට ලැබුණු වෙලාවේ.” ඔහු එසේ කීය.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<