කුසල් සහ කෞෂාල් ශ්‍රී ලංකාව ජය මාවතට රැගෙන යයි

894
Sri Lanka batsman Kaushal Silva hits the ball as wicketkeeper Peter Moor and Tinotenda Mawoyo look on during the first cricket Test match between Sri Lanka and hosts Zimbabwe at the Harare Sports Club, on October 29, 2016.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා පිතිකරු කෞෂාල් සිල්වා පන්දුවට පහර දෙමින් ©AFP

අද (29) ආරම්භ වුනු ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය තුලදීම සිය අණසක පතුරවන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

පසුගිය ලිපි: කොදෙව්වන්ට යළිත් දැවැන්ත ජයක්

ඔවුන් අද දිනය නිමාවන විට කඩුලු 4ක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 317ක්. ශ්‍රී ලංකා පිළේ සෑම පිතිකරුවෙක්ම පාහේ අද ලකුණු අතරට පිවිසීමට සමත් වූ අතර කෞෂාල් සිල්වා සහ කුසල් පෙරේරා ක්‍රීඩා කල ඉනිම් දෙක ඒ අතරින් කැපී පෙනුණි.

තමා නායකත්වය සපයන ප්‍රථම ටෙස්ට් තරගයේදීම කාසියේ වාසිය දිනා ගත් රංගන හේරත් පිතිකරණ පාරාදීසයක් ලෙස දිස්වුනු හරාරේ තණතීරුවේදී ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මැදපෙළ පිතිකරු අසේල ගුණරත්නට සහ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට අද දිනයේ ටෙස්ට් වරම් හිමිව තිබුණි. සුපුරුදු ආරම්භක පිතිකරණ යුගලය ලෙසට පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා කලකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් පිලට සුපිරි ආරම්භයක් ලබා දුන්නේ ලකුණු 123ක් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් එක් කරමිනි. ඉනිමේ මුල්ම කඩුල්ල ලෙසින් ඕස්ට්‍රේලියානු තරගාවලියේදී ලකුණු ඉඩෝරයකට මුහුණපා සිටි දිමුත් කරුණාරත්න පිටියෙන් ඉවත් කරන්නට සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් සමත් වූ අතර ඒ වන විට ඔහු ලකුණු 56ක් ලබා සිටියේය.

තේ විවේකය වන විට ලකුණු 92ක් ලබාගෙන තම සිව්වන ශතකය පෙනෙන මානයේ පසුවූ කෞෂාල් සිල්වා තේ පානයෙන් මද වෙලාවකට පසු මිඩ්-ඕන් කලාපයට එල්ල කල පහරක් නිසා ලකුණු 94කට අවාසනාවන්ත ලෙස දැවී ගියේ මැල්කම් වෝලර්ට තරගයේ ප්‍රථම කඩුල්ල හිමිකර දෙමිනි. ඉන් අනතුරුව පිටියේ එක්වුනු කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා සිම්බාබ්වේ පන්දු යවන්නන්ට පිටිය සිසාරා පහර එල්ල කරමින් ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කළහ.

කුසල් පෙරේරා පන්දු 103ක් තුල තම ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර එය ශ්‍රී ලාංකික පිතිකරුවෙකු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද දෙවැනි වේගවත්ම ශතකය ලෙස සටහන් විය. කුසල් මෙන්ඩිස් ද විශ්වාසනීය ඉනිමක් ගොඩ නංවන්නට උත්සාහ කල අතර ග්‍රැහැම් ක්‍රීමර්ගේ තියුණු ලෙස දඟ කැවුණු පන්දුවකට කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ලකුණු 32ක් ලබා සිටියදීයි. සිම්බාබ්වේ කණ්ඩායමේ සම්පූර්ණ බර තම උරහිස මත රඳවාගත් නායක ග්‍රැහැම් ක්‍රීමර් දිනයේ අවසන් කඩුල්ල ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම් සාර්ථකම පිතිකරුවා බවට පත්වූ කුසල් පෙරේරා දවාගැනීමට සමත් විය. ඒ වනවිට හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමගින් ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 110ක්.

දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහර දෙන උපුල් තරංග ලකුණු 13ක් ද, ධනංජය සිල්වා ලකුණු 10ක් ද ලබා සිටිති. විශේෂයෙන්ම අංක 9 වනතෙක්ම පන්දුවට පහර දීමේ හැකියාව සහිත ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායම සතු නිසා හෙට දිනයේ දී වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන සිම්බාබ්වේ පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට දැන් ශ්‍රී ලංකා පිළට අවස්ථාව උදාවී තිබේ. දිනය පුරාවට තරගයට පිවිසීමට තිබූ උඩපන්දු සහ දුවද්දී දවාගැනීම් අවස්ථා 5ක් පමණ සිම්බාබ්වේ පන්දු රකින්නන් අද දිනයේදී මගහැරීම සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණයෙන් දුරස් වන්නට හේතු විය.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 317 (පන්දුවාර 90): කුසල් පෙරේරා 110, කෞෂාල් සිල්වා 94, දිමුත් කරුණාරත්න 56, කුසල් මෙන්ඩිස් 37, උපුල් තරංග 13*, ධනංජය සිල්වා 10*, ග්‍රැහැම් ක්‍රීමර් 3/82, මැල්කම් වොලර් 1/25.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට