අංශක තුන්සිය හැටේ ක්‍රිකට් මිනිසා ඩිවිලියර්ස්!

1894
ESPN Cricinfo

ඒබ්‍රහම් බෙන්ජමින් ඩිවිලියර්ස් නැතිනම් ඒබී ඩිවිලියර්ස් කියන්නේ අපේ පරම්පරාවේ ක්‍රිකට් උඩුයටිකුරු කරපු මනුස්සයෙක්. ඇත්තටම සාමාන්‍ය මනුස්සයෙක්ට, ක්‍රීඩකයෙකුට කරන්න බැරි ගොඩාක් වැඩ ඩිවිලියර්ස් ක්‍රිකට් පිටිය තුළ කළා.

පහුගිය දවසක ඩිවිලියර්ස් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන්න තීරණය කළා. ඉතින් අපි හිතුවා ඩිවිලියර්ස්ගේ ක්‍රිකට් පටන් ගත්ත විදිය ගැන පොඩ්ඩක් කතා කරන්න. මේ දිග හැරෙන්නේ ඔහුගේ කතාව.

‘ගලවපන් ඔය තොප්පිය වහාම. ඔය තොප්පිය දාන්න උඹට කිසිම සුදුසුකමක් නෑ.’

මට වඩා වයසින් හරියටම දෙගුණයක් වැඩිමහල් ගෙරට් ඩෙයස්ට් කෑගැසුවා.

මා කළ එකම වරද ඔහුගේ පන්දු යැවීම හමුවේ උඩපන්දුවක් අතහැරීම පමණයි.

ඔහු මට ගලවන්නට අණ කරන්නේ ඒ වෙද්දී මගේ ජීවිතයේ වටිනාම වස්තුව වෙච්ච ‘ජොන්ටි’ කැප් තොප්පිය.

ඩෙයස්ට් මගේ වැඩිමහල් සොයුරන්ගේ මිත්‍රයෙක්. ඔහු ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නිතර අප නිවසට ආ අයෙක්.

මේ සිදුවීම වන විට මගේ වයස අවුරුදු එකොළහක් විතර ඇති.

ඉක්මනින් මා ඉදිරියට ආ ඩෙයස්ට් මගේ කැප් තොප්පිය ගලවා ඉවතට විසි කළා.

රූපය 1ඡායාරූපය: ඒබ්‍රහම් බෙන්ජමින් ඩිවිලියර්ස් කුඩා අවධියේ දී
© diepos.co.za

මා සතුව තිබූ අනර්ඝතම වස්තුව දුහුවිල්ලෙන් වැසී යද්දී මගේ ඇස්දෙක කඳුලින් පිරිලා යනවා මට දැනුණා. 1995 නොවැම්බර් 17 වැනිදා. එදා තමයි ෂෝන් පොලොක් පළමු වරට ටෙස්ට් වරම් හිමිකරගත් දවස. ප්‍රිටෝරියා වල සෙන්චූරියන් පාර්ක් ක්‍රීඩා පිටියේ එංගලන්ත ටෙස්ට් තරගයේ දෙවැනි දවස බලන්න ගිය වෙලේ මගේ තාත්තා අර න්දීපු කොල පාට තොප්පිය. මගේ වීරයාගේ නම ගහලා තිබුණ තොප්පිය.

අනෙක් උදවිය මා දිහා බැලුවේ අනුකම්පාවෙන්.

අඬන්න එපා. උඹ අඬන්නේ නෑ. හිත හයිය කරගනින්. මේක ලේසියෙන් අතාරින්නේ නෑ කියලා මම මටම කියාගත්තා.

මට නිතරම ක්‍රීඩා කරන්න සිද්ධ වුනේ වයසින් වැඩි උදවිය එක්ක. සමහර විට එයාලා එක්ක ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලබා ගැනීම පවා මට ලොකු දෙයක් වුනා.

මට පිතිකරණයට අවස්ථාවක් ලැබුණ වෙලාවේ මං හිතුවේ එකම දෙයයි. අද නම් මම අද අවුට් වෙන්නෙම නෑ.

ඔව්. මම ඒ දේ කළා. මගේ අයියලා ඇතුළු යාළුවෝ පිරිස හිතුවේ ලේසියෙන්ම මාව අවුට් කරගන්න පුළුවන් වෙයි කියල. හැබැයි හවස හයහමාරට විතර අම්මා කතා කරනකන්ම මම බැට් කළා. මට හිනා වුන උදවියට මහන්සි වෙනකන්ම මම බෝල් කරවගත්තා.

මම ආපහු ජොන්ටි තොප්පිය මගේ ඔළුවට දාගත්තේ ආඩම්බරයෙන්.

සමහර විට රැස් කරන ලකුණු ගණන හෝ දවා ගන්න කඩුලු ගණන නෙවෙයි මිනිස්සුන්ට මතක තියෙන්නේ.  සටන්කාමීත්වය විතරයි මිනිස්සුන්ට මතක තියෙන්නේ.

මගේ කුඩා කාලයේ ක්‍රීඩාව වෙනුවෙන් පවුලෙන් ලැබුණ දායකත්වය අති විශාලයි. මගේ දෙමාපියන් වගේම වැඩිමහල් සහෝදරයෝ දෙන්නගෙත් ජීවිතය වුනේ ක්‍රීඩාව.

ක්‍රිකට්, ටෙනිස් හෝ රග්බි කියා වෙනසක් තිබුනේ නැහැ. අපි හැම වෙලාවෙම ඕන ක්‍රීඩාවට ඔට්ටුයි.

මට තවම මතකයි 1995 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය. ඒක අලුත් දකුණු අප්‍රිකාවක් වෙනුවෙන් සිහින දකිමින් සිටි කාලයක්. දකුණු අප්‍රිකානු ජාතික කොඩියේ පාට මුහුණේ තවරාගෙන රූපවාහිනිය ඉදිරිපිට කෑගසමින් දකුණු අප්‍රිකානුවන් රග්බි ලෝක කුසලානය දිනා ගන්නා ආකාරය අපි නැරඹුවේ ආඩම්බරයකින්.

ඡායාරූපය: 1995 රග්බි ලෝක කුසලාන ජය සමරන ඩිවිලියර්ස් සොහොයුරන්. © AB de Villiers – The

1992 වසරේ ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වුණ බෙන්සන් සහ හෙජස් ලෝක කුසලාන තරග උදේ පාන්දර නැගිටලා නිදිමත බේරෙන ඇස්වලින් නැරඹූ ආකාරය අදටත් මතකයි.

එවර ලෝක කුසලාන තරගාවලියේ එක් තරගයක දී පාකිස්තානයේ ඉන්සමාම් උල්හක් දවා ගන්න මගේ ක්‍රිකට් වීරයා ජොන්ටි රෝඩ්ස් උඩු ගුවනේ පාවෙමින් ලබා ගත්ත දුවද්දී දැවී යෑම අපි කාටත් අමතක කරන්න අමාරු වුනා.

ජොන්ටි, ඉන්සමාම් දවා ගත් ආකාරයෙන් ජාත්‍යන්තර මට්ටමේ දී සෙල්ලම් කරන්න පුළුවන් වෙයි, පන්දු රකින්න පුළුවන් වෙයි කියල මම කවදාවත් හිතුවේ නෑ.

1998 වසරේ ජනවාරි මාසය මුල. අලුතින් ආරම්භ වීමට නියමිත පාසල් වාරය වෙනුවෙන් සම වයසේ තවත් ළමුන් 240ක් පමණ සමග පාසලේ ශාලාවක හිටගෙන හිටි අන්දම අදටත් මට මතකයි.

නොඉවසිලිමත් බවකින් වටපිට බලන මට අහම්බෙන් වගේ එක්තරා ළමයෙක් දැක ගන්න ලැබුණා. දැක්ක ගමන් ඔහු මා එක්ක හිනා වුනා. ඔව් මට ඔහුව හොඳටම අඳුන ගන්න පුළුවන්. මීට අවුරුදු ගානකට කලින් උතුරු ට්‍රාන්ස්වාල් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු දකුණු අප්‍රිකානු ප්‍රාථමික පාසල් ක්‍රිකට් සතියට පැමිණ සිටියා. මම එහි ගියේ උතුරු පළාත නියෝජනය කරමින්.

රූපය 2ඡායාරූපය: ඩිවිලියර්ස් ඔහුගේ පාසල් මිත්‍රයා ෆෆ් ඩුප්ලෙසි සමඟ ©Sportskeeda

ෆ්‍රාන්ෂුවා ඩුප්ලෙසිස් එහෙමත් නැත්නම් ෆෆ් ඩුප්ලෙසිස් මා හඳුනා ගන්නේ එහෙම. එදා ඉඳලා හැම ක්‍රීඩා කණ්ඩායමකම අපි දෙන්නා එකට හිටියා. පස්සේ කාලෙක අපි දෙන්නට දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ලැබීමත් විශාල භාග්‍යයක්.

මගේ පාසල් ජීවිතය මුළුමනින්ම ගෙවුණේ ක්‍රීඩාව එක්ක කිව්වොත් වැරදි නෑ.

2003 පෙබරවාරි මාසයේ මුල දවසක්. මුළු දකුණු අප්‍රිකාවම උත්වශ්‍රීයෙන් ක්‍රිකට් ලෝක කුසලානයට සූදානම් වෙනවා.

එක් උදෑසනක ගෙදර දුරකතනය නාද වුනා.

‘හලෝ’

‘ඒබී, මම ඩේව් නොස්වර්ති.’

එහා පැත්තෙන් ඇහෙනවා

‘හතර වැනිදා කැනඩා කණ්ඩායමත් එක්ක ටයිටන්ස් ගහන පුහුණු තරගයට උඹටත් අවස්ථාවක් දෙන්න අපි හිතුවේ.’

මට එකපාරටම අදහා ගන්න බැරි වුනා.

ඩේව් කියන්නේ ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා.

එදා සෙන්චූරියන් පාක් ක්‍රීඩාංගණයට ගියපු මට දැනුණේ වැඩිමහල් පිරිසක් මැද ඉන්න පොඩි එකෙක් කියල.

කැමරා කණ්ඩායම, සජීවී විකාශය. මට මේ සියල්ල අලුත් අත්දැකීමක්.

එදා කැනඩා කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබා ගන්න මට හැකියාවක් ලැබුණා විතරක් නෙවෙයි පහසුවෙන්ම ඔවුන්ව පරාජය කරන්න අපිට හැකියාවක් ලැබුණා.

ලැබෙන හැම අවස්ථාවක දී ම හැකි උපරිම ආකාරයෙන් ක්‍රීඩා කරන්න මම උත්සහ කළා.

ඒ අතරවාරයේ දකුණු අප්‍රිකානු 19න් පහළ කණ්ඩායමටත් මා තෝරාගෙන තිබුණා.

2004 දෙසැම්බර් 02 වැනිදා මගේ දුරකතනය නැවත වතාවක් නාද වුනා. ඒක ජීවිතය වෙනස් කළ දුරකතන ඇමතුමක්.

‘ඒබී, මම හරුන් ලොගාට්.

සති දෙකකින් පෝර්ට් එළිසබෙත් වල පටන් ගන්න එංගලන්ත ටෙස්ට් මැච් එකේ උඹට ඕපන් කරන්න වෙනවා. උඹට වැඩේ කරන්න පුළුවන් නේද?’

‘අනිවාර්යයෙන්ම ලොගාට් මහත්මයා. බොහොමත්ම ස්තූතියි.’

නෑ. මේක හීනයක් නෙවෙයි. පාසල් ගමන නිමවා අවුරුද්දක් යන තැන උඹ දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා.

මම මුලින්ම කළේ දෙමාපියන් මෙන්ම නෑදෑ හිතමිතුරන්ට මේ සුබ පණිවිඩය දැනුම් දීම.

ටෙස්ට් තරගයට පෙර ප්‍රිටෝරියා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන පුහුණු කඳවුරකට සහභාගී වන ලෙස ලොගාට් දුරකතනය ඔස්සේ මට දන්වා සිටියා.

පුහුණු කඳවුරට ගිය මට ක්‍රිකට් ලෝකයේ මගේ වීරයන් කිහිපදෙනෙක් දැක ගත හැකි වුනා.

ජැක් කලිස්, ශෝන් පොලොක්, ග්‍රැහැම් ස්මිත්, මකායා න්ට්නි, ඇන්ඩෲ හෝල් ඒ අතර හිටියා.

මගේ මංගල ටෙස්ට් තරගයේ දී තවත් ක්‍රීඩකයෙක් ටෙස්ට් වරම් දිනා ගත්තා. ඔහුත් මාත් මීට මාස 14කට පෙර මුල්ම පළමුපෙළ තරගයට ක්‍රීඩා කළ ආකාරය මතක් වුනා.

ඡායාරූපය: 2004 වසරේ පෝර්ට් එළිසබෙත්’හීදී එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම. © AB de Villiers – The Autobiography

ඩේල් ස්ටේන් නම් ශූර වේගපන්දු යවන්නාගේ ජාත්‍යන්තර ක්‍රිකට් ආරම්භය එයයි.

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ග්‍රැහැම් ස්මිත් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කළා.

නමුත් අවාසනාවකට තරගයේ දෙවැනි පන්දුවෙන්ම ඔහු දැවී ගියා.

ඊළඟ පන්දුවාර ඇරඹුවේ ස්ටීව් හාර්මිසන්. මට මතක විදියට ඔහු ඒ දවස්වල ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමුවැන්නා. ඔව්. ඔහු දැන් මට පන්දු යැවීමට දිවගෙන එනවා.

තරගයේ නමවැනි පන්දුවාරයේ දී පිට ඉන්නට මදක් ඈතින් ඇදී ගිය පන්දුවට හතරේ පහරක් එල්ල කරන්න මට පුළුවන් වුනා. ඊළඟ පන්දුවට කට් පහරක්. එයත් හතරේ සීමාව පසු කර ගියා.

මෙය ඇත්තටම ටෙස්ට් ක්‍රිකට් කියන්නේ මේක ද? මම මටම කියා ගත්තා.

ක්‍රීඩා පිටියේ හැමදේකටම සහභාගී වෙන්න මට තිබුණේ පුදුම උනන්දුවක්. බෝලය පිටිපස්සේ එළවන්න, හැකි හැම වෙලාවෙම පැනලා බෝලේ අල්ලන්න විතරක් නෙවෙයි පන්දු යවන ක්‍රීඩකයාගෙන් කැප් තොප්පිය විනිසුරුවරයාට රැගෙන දිව ඒම පවා කළේ සෑහෙන ආසාවෙන්.

‘ඔය තොප්පිය පළඳින්න උඹට කිසිම සුදුසුකමක් නෑ.’

සිට දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ හිස්වැස්ම පළදින තාක් ආ ගමන් මග නැවත මට මැවී පෙනුණා.

ඇත්තටම උඹ ඒ ජොන්ටි හිස්වැස්ම පලඳින්න නියම සුදුස්සෙක්. මගේ යටි හිත උස් හඬින් කියනු මට ඇහුණා.

AB de Villiers – The Autobiography ඇසුරෙනි.

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<