ක්‍රීඩා සමාජ සහ සංගම් 9 ප්‍රතිපාදන අත්හිටුවයි

546
Sri Lanka Club Cricket

ගෙවුණු වසර සඳහා විගණන වාර්තා ලබා දීම පැහැර හරිනු ලැබූ ක්‍රීඩා සමාජ සහ සංගම් 9කට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) මගින් අත්හිටුවා ඇත.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව ජාතික ක්‍රීඩක කොන්ත්‍රාත්තු 65ක්

“ජනවාරි මාසයේ සිට අප ඔවුන්ට විගණන වාර්තා ලබාදෙන ලෙසටත් වාර්ෂික මහ සභා රැස්වීම කලට වේලාවට පවත්වන ලෙසටත් දැනුම් දෙනු ලැබුවා. නමුත් ඔවුන් අපගේ ඉල්ලීමට එකඟතාවයක් නොදැක්වූ නිසා අප ඔවුන්ට අරමුදල් සැපයීම නතර කිරීමට තීරණය කලා.” යැයි ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

එම ක්‍රීඩා සමාජ නවය වන්නේ: බදුරලිය ක්‍රිකට් සමාජය, බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මළල ක්‍රීඩා සමාජය, දකුණු පළාත් ක්‍රිකට් සංගමය, මීගමුව ක්‍රිකට් සමාජය, මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය, පුත්තලම දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය, කොල්ලුපිටිය ක්‍රීඩා සමාජය, නෝර්මැඩ්ස් ක්‍රීඩා සමාජය සහ පීටර්සන් මාවත ක්‍රීඩා සමාජයයි.

“ඔවුන් සිය පරිපාලන වැරදි නිවැරැදි කරගන්නා තුරු අප ඔවුන්ට ගෙවීම් සිදු කරන්නේ නැහැ. නමුත් ඔවුන්ට ක්‍රිකට් ආයතනය මගින් පවත්වනු ලබන තරගාවලි සඳහා සහභාගි වීමට තව දුරටත් ඉඩ ලැබෙනවා. ඔවුන් ගිණුම් නිසියාකාරව පවත්වාගෙන යනතුරු සහ විගණන වාර්තා ලබාදෙන තුරු ඔවුන්ට කිසිදු මුදලක් ලබා නොදීමට ක්‍රිකට් ආයතනය තීරණය කළා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එසේම මීගමුව ක්‍රිකට් සමාජය B කාණ්ඩයේ තරග සඳහා සහභාගි වීමට නියමිත අතර, බදුරලිය ක්‍රිකට් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මළල ක්‍රීඩා සමාජය ප්‍රිමියර් ලීග් තරගාවලියේ A කාණ්ඩයට ක්‍රීඩා කිරීම සඳහා නම්කර ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට