ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව ජාතික ක්‍රීඩක කොන්ත්‍රාත්තු 65ක්

2658
65 annual contracts by Sri Lanka Cricket

ක්‍රීඩකයන් 65 දෙනෙකු සඳහා නව වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ තරුණ, නැගී එන සහ ජේෂ්ඨ ලෙස කාණ්ඩ 3ක් යටතේයි. මේ සියලු ක්‍රීඩකයන් මේ මස අගදී තම කොන්ත්‍රාත්තු අත්සන් කිරීමට නියමිත අතර පළමු කොන්ත්‍රාත්තුවේ කාලය 2016 නොවැම්බර් පළමු වැනිදා සිට 2017 වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා බල පැවැත්වෙනු ඇත.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් 100ක් සමඟ ගිවිසුමකට

ජේෂ්ඨ කාණ්ඩය සඳහා තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සලකා බලා ඇති ප්‍රධාන කරුණ වන්නේ ක්‍රීඩකයන්ගේ වයසයි. වයස අවුරුදු 30ට වඩා වැඩි හිටපු හෝ වත්මන් ජාතික ක්‍රීඩකයන් මෙන්ම වයස අවුරුදු 30ට වඩා වැඩි දේශීය තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයන් අතුරින් 2015/16 ප්‍රිමියර් ලීග් තරගාවලිය තුලදී ලකුණු 600කට වඩා රැස් කරගෙන හෝ කඩුලු 38 සීමාවට වඩා වැඩි දවා ගැනීම් සිදු කර ඇති ක්‍රීඩකයන් මෙම කාණ්ඩය සඳහා ඇතුලත් වීමට සුදුසුකම් ලබා සිටියි. මෙම කාණ්ඩයට ඇතුලත්ව සිටින ක්‍රීඩකයන් 17 දෙනා හට මසකට රුපියල් 75,000 සිට 100,000 දක්වා පරාසය තුල මාසික වැටුපක් හිමි වනු ඇති.

2014/15 ජාතික ක්‍රීඩක කොන්ත්‍රාත්තු වලදී ජාතික ක්‍රීඩක පළමු කාණ්ඩයට ඇතුලත්ව සිටි නුවන් කුලසේකර මෙවර ඇතුලත් වන්නේ මෙම ජේෂ්ඨ කාණ්ඩයටයි. මෑත කාලීනව ඔහුගේ දස්කම් වල ඇතිවූ පසුබැසීම මෙම පහත වැටීමට හේතු වී තිබේ. 2015 වසරෙන් පසු ජාත්‍යන්තර තරගයකට සහභාගී වී නොමැති අජන්ත මෙන්ඩිස් ද ජාතික ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ දෙවන කාණ්ඩයේ සිට මෙම කාණ්ඩය දක්වා පහතට වැටී සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසන්නේ මෙම කොන්තරාත්තු ගත කිරීම මගින් බොහෝ ජේෂ්ඨ සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් තුල එළඹෙන දේශීය ක්‍රිකට් තරගාවලිය සඳහාද සහභාගී වීමට මානසික අභිප්‍රේරණයක් ඇති වන බවට තමන් විශ්වාස කරන බවයි.

”අපිට දැක ගන්නට ලැබුනා වයස අවුරුදු 30ට වඩා වැඩි ක්‍රීඩකයන් පවා තවමත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මහත් වෙහෙසක් දරන ආකාරය. ඉතින් ඔවුන්ටත්  ජාතික මට්ටමේ කොන්ත්‍රාත්තුවක් ලබන්න සුදුසුකම් සහ අයිතියක් තිබෙනවා” සභාපතිවරයා සඳුදා සවස පවතී මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත බලාපොරොත්තු දල්වා තිබෙන වයස අවුරුදු 19ත් 23ත් අතර ක්‍රීඩකයන් තරුණ කාණ්ඩය යටතේ කොන්ත්‍රාත් ගත කිරීමට කටයුතු යොදා තිබේ. ඊට ඇතුලත් වී ඇති ක්‍රීඩකයන් 24 දෙනා සඳහා මසකට රුපියල් 25,000 සිට 50,000 දක්වා වන ආදායමක් ලැබෙන ලෙස මෙම කොන්ත්‍රාත්තු සකස් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. අදාළ වයස් කාණ්ඩයට ඇතුලත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල හෝ, ශ්‍රී ලංකා A, ශ්‍රී ලංකා සංවර්ධන, ශ්‍රී ලංකා 19න් පහල යන කණ්ඩායම් නියෝජනය කල ක්‍රීඩකයින් දේශීය ක්‍රීඩා පිටියේ දැක්වූ දස්කම්ද පදනම් කර ගනිමින් මෙම කාණ්ඩය සඳහා තෝරා ගැනීම් සිදු කර ඇත.

නැගී එන කාණ්ඩය නොහොත් B කාණ්ඩය සඳහා ඇතුලත්ව සිටින ක්‍රීඩකයින් සංඛ්‍යාව 24ක්. එම කාණ්ඩය සඳහා තෝරා ගෙන ඇත්තේ වයස අවුරුදු 24 සහ 29 අතර ක්‍රීඩකයිනුයි. ඔවුන් අතරින් බොහෝ දෙනා මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා A සහ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම් සඳහා ක්‍රීඩා කල ක්‍රීඩකයන් වන අතර දේශීය තරග බිමේ දස්කම් පදනම් කර ගනිමින්ද මෙම කාණ්ඩයට ක්‍රීඩකයන් තෝරා ගෙන ඇත. ඔවුන් හට මසකට රුපියල් 50,000 සහ 75,000 අතර වැටුපක් ලබා දීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙවර ජාතික කොන්ත්‍රාත්තුවට ඇතුලත් වන ක්‍රීඩකයන් පිලිබඳ තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැත. ඔවුන් පවසන්නේ ජාතික තේරීම් කමිටුවෙන් ඒ පිලිබඳ තහවුරු කිරීමක් තවමත් ලැබී නොමැති බවයි. නමුත් ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව මෙම ජාතික කොන්ත්‍රාත්තුව (පළමු කාණ්ඩයේ කොන්ත්‍රාත්තු) සඳහා ක්‍රීඩකයන් 28 දෙනෙක් ඇතුලත් වීමට නියමිත බව වාර්තා වේ. මේ මස අගදී සිම්බාබ්වේ තරග සංචාරය සඳහා පිටත්ව යාමට මත්තෙන් එම ක්‍රීඩක කොන්ත්‍රාත්තු අත්සන් කිරීම සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

තරුණ කාණ්ඩයේ කොන්ත්‍රාත්තු ලාභීන්.

චරිත් අසලංක, අසිත ප්‍රනාදු, ලහිරු කුමාර, වනිඳු හසරංග, විශාඩ් රන්දික, මනෝජ් සරත්චන්ද්‍ර, කවිඳු කුලසේකර, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙනිය, ප්‍රියමාල් පෙරේරා, සහන නානායක්කාර, ලහිරු මලින්ත, මිනෝද් භානුක, පබසර වඩුගේ, ලසිත් අබේරත්න, සඳුන් වීරක්කොඩි, ඇන්ජලෝ ජයසිංහ, අනුක් ප්‍රනාන්දු, ෂෙහාන් මධුශංක, හෂාන් දුමිඳු, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, කසුන් රාජිත, තරිඳු කෞෂාල්.

නැගී එන කාණ්ඩයේ කොන්ත්‍රාත්තු ලාභීන්.

මධුක ලියනපතිරණ, සංජය චතුරංග, ලහිරු මධුශංක, භානුක රාජපක්ෂ, උමේෂ් කරුණාරත්න, ගමිඳු කනිෂ්ක, මොහොමඩ් ඩිල්ශාඩ්, කසුන් මධුශංක, රුමේෂ් බුද්ධික, විමුක්ති පෙරේරා, ඩිල්ශාන් මුණවීර, මාධව වර්ණපුර, මාලින්ද පුෂ්පකුමාර, සචිත්‍ර සේරසිංහ, ප්‍රභාත් ජයසුරිය, ෂෙහාන් ජයසුරිය, විශ්ව ප්‍රනාන්දු, රමිත රඹුක්වැල්ල, උදාර ජයසුන්දර, චතුරංග ද සිල්වා, අශාන් ප්‍රියන්ජන්, චමින්ද බණ්ඩාර, ලහිරු ගමගේ, ඉසුරු උදාන.

ජේෂ්ඨ කාණ්ඩයේ කොන්ත්‍රාත්තු ලාභීන්.

මහේල උඩවත්ත, ජීවන් මෙන්ඩිස්, ෆර්වීස් මහරූෆ්, සුරාජ් රන්දීව්, ජෙහාන් මුබාරක්, නිසල් රන්දික, චාමර සිල්වා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, නුවන් කුලසේකර, හසන්ත ප්‍රනාන්දු, ගයන් සිරිසෝම, දිල්හාර ප්‍රනාන්දු, ටී.එන්.  සම්පත්, චරිත බුද්ධික, අසේල ගුණරත්න, නදීර නාවල.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට