එංගලන්ත මාධ්‍ය, සීකුගේ මැජික්කරුවෙක් කරයි

710
Seekkuge Prasanna

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා  එංගලන්ත කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව ලකුණු සම මට්ටමින් අවසන් විය.

නොටින්හැම් හිදී පැවති මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ  කඩුළු 9ක් දැවී ලකුණු 286ක් ලබා ගන්නා ලදී.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 73ක්, සීකුගේ ප්‍රසන්න වේගවත් ලකුණු 59ක් ලබාගත් අතර , දිනේෂ් චන්දිමාල් ලකුනු 37ක්, ෆර්වේස් මහරූෆ් නොදැවී ලකුණු 31ක් වශයෙන් ලබාගනිමින් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ගත් අය බවට පත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ද කඩුලු 8ක් දැවී තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය. එංගලන්ත ඉනිමේ පළමු කඩුළු 6 ලකුණු 82ක් තුළ දැවී ගොස් අසීරු අවස්ථාවක පසුවන විට ජොස් බට්ලර්ගේ ලකුණු 93ත්, ක්‍රිස් වෝකස් නොදැවී ලබාගත් ලකුණු 95ත් හේතුවෙන් එංගලන්ත ඉනිම යළි ගොඩනැංවීමට ඔවුන්ට හැකි විය.

මේ ආකාරයෙන් පළමු  තරගය ජය පරාජයෙන් තොරව නිම වුවද මෙම තරගයේ වැඩි ගෞරවය හිමි විය යුත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට බව එංගලන්ත මාධ්‍ය වාර්තා කර තිබුණි.

එමෙන්ම තරගය මැදදී පිටියට පැමිණි සික්කුගේ ප්‍රසන්න මැජික් කරුවෙකුගේ භූමිකාවක් රග දැක්වූ බවත් ප්‍රසන්න පසුපෙළ පිතිකරුවෙකු වුවද ආරම්භක පිතිකරුවෙකුගේ ලක්ෂණ ඔහුගෙන් මනාව  ඉස්මතු වන බවත් එංගලන්ත මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබිණි.

සීකුගේ ප්‍රසන්න තරඟ 28 ලකුණු 347 ක් ලබාඇති අතර එයට අර්ධ ශතක දෙකක් ඇතුළත්ව ඇත. ප්‍රහාරාත්මක වේගය 110.86 ක අගයක පවත්වාගෙන යනු ලබන ප්‍රසන්න මේ වනවිට 4 පහරවල් 28 ක් හා 6 පහරවල් 23 ක් එල්ලකර ඇත.

දෙරට අතර මීලඟ තරඟය හෙට (24) බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට