බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු ඉතිහාස ගත වෙයි

513

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හි ක්‍රියාත්මක 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං කිලෝග‍්‍රෑම් 45/48 ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටය ජය ගනිමින් අර්ධ අවසන් වටයට පිවිසීමට බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු සමත්වූවාය.

තෙවැනි දිනය නිමාවේ දී මෙත්සරණි පළඟ අවසන් සටනට

පළමු දින දෙක පුරාවටම ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සමස්ත සහභාගීත්වයේම සැනසීමට කරුණ වූ බර ඉසිලීමේ කණ්ඩායමට තෙවන දිනය…

මෙවැනි දැවැන්ත තරගාවලිවල දී අවසන් කණ්ඩායම් 4ට හෙවත් අර්ධ අවසන් තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම යනු අවම වශයෙන් ලෝකඩ පදක්කමක් හෝ හිමිවන බැවින් එය පොදු රාජ්‍ය මණ්ඩල ඉතිහාසයේ බොක්සිං ක්‍රීඩාවෙන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව වශයෙන් ද මෙම අවස්ථාව ඉතිහාසයට එක්වන්නේය.

එ් අනුව අනූෂාගේ මීළඟ තරග  වටය වන අර්ධ අවසන් තරගය ලබන 11 වැනිදා අසල්වැසි ඉන්දියාවේ මේරී කොම් ක්‍රීඩිකාව සමඟින් තරග වැදීමට නියමිතව සිටියි.  ශ‍්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම බොක්සිං ක්‍රීඩිකාව වන අනූෂා මේ වන වටත් 39 වැනි වියේ පසුවන ක්‍රීඩිකාවකි.

ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගි වී හසල අත්දැකීම් ඇති ක්‍රීඩිකාවක් වන අනූෂාගේ කැපී පෙනෙනම ජයග්‍රහණය බවට පත්වූයේ 2012 වසරේ දී ටියුනීසියාවේ පැවති ජාත්‍යන්තර බොක්සිං ශූරතාවලියේ දී ෆ්ලයිවේට් (කිලෝග‍්‍රෑම් 48 ට අඩු) බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමයි.

අනූෂාගේ ප‍්‍රතිවාදිනිය වන මේරි කොම් අවස්ථා කීපයක දී ම ලෝක බොක්සිං ශූරතාවට හිමිකම් කියන්නියක් වන අතර එම දක්ෂතාව හේතුවෙන්ම ඇයගේ ජීවිත කතාව අලලා මේරි කොම් නමින් බොලිවුඩ් චිත‍්‍රපටයක් ද නිර්මාණය වී තිබේ. එ් අනුව මෙම තරගයේ දී අනූෂා කොඩිතුවක්කු කෙසේ හෝ ජය ලැබුවහොත් ඇයගේ නම ද බොක්සිං ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනවා නොඅනුමානය.

අර්ධ අවසන් පූර්ව තරගයේ දී නිල් අංශයෙන් තරග වැදි අනූෂා එල්ල කරන ලද ප‍්‍රහාර හේතුවෙන් ප්‍රතිවාදී ක්‍රීඩිකාව වූ කේමන් දුපත්වල බ‍්‍රැන්ඩි බාර්න්ස් දෙවතාවක්ම ඇද වැටුණු බැවින් තාක්ෂණික වශයෙන් ජයග්‍රහණය අනූෂා වෙත පිරිනැමීමට විනිශ්චයකරුවෝ තීරණය කළහ.

මේ අතර කිලෝග‍්‍රෑම් 64 පිරිමි බර පන්තිය යටතේ අද පස්වරුවේ පැවැති මූලික වටයේ තරගයක දී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක දිනිඳු සපරමාදු අර්ධ අවසන් තරග අවස්ථාව උදා කර ගැනීමට සමත් විය. නවසීලන්ත ක‍්‍රීඩක රිචර්ඩ් හැඩ්ලෝට එරෙහිව පැවැති තරගයේ දී තරගවට 4/1ක් පහසු ජයක් වාර්තා කළ දිනිඳු එම අර්ධ අවසන් පූර්ව අවස්ථාව දිනා ගත්තේය.

රතු අංශයෙන් තරග වැදුණු සපරමාදු සහභාගි වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගය මෙම මස 10 වැනිදා නැමීබියානු ක‍්‍රීඩක ජොනාස් ජොනාස් සමඟ  පැවැත්වීමට නියමිතව තිබේ.

ඊට අමතරව තරගාවලයේ දෙවැනි දිනය හෙවත් ඉකුත් 06 වැනිදා පැවැති බොක්සිං තරග ඉසව්වේ දී කිලෝ ග‍්‍රෑම් 46/49 බර පන්තිය යටතේ පැවැති මූලික වටයේ තරගයේ දී දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩක සියබුලේලා පොන්ගෝෂි සමඟ පැවැති තරගයෙන් තරග වට 4/0ක ජයක් අත්කර ගත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක තිවංක රණසිංහ අර්ධ අවසන් පූර්ව වටයේ දී ඕෂනියා කලාප රටක් වන වැනුටු ක‍්‍රීඩක බෙරී නම්රි සමග තරග වැදීමට නියමිතව සිටියි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<