අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකා වෑයම අපතේ යයි

221

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ලෝක ශූර ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඉන්පසුව පැවැත්වූ පළමු විස්සයි – විස්ස ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (19) සමත් විය.

ලෝක වාර්තාවක් සමඟින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනී

කොළඹ බී. ආර්. සී පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ  ඉන්දීය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වීම නිසා තරගයේ වැඩි පීඩනය ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් අතරට පැමිණියේය.

කෙසේ නමුත් දකුණතින් පිත්ත හසුරුවන B2 (මධ්‍ය දෘශ්‍ය) කාණ්ඩයේ ක්‍රීඩක රුවන් වසන්ත 4 පහර 4ක් එල්ල කරමින් රැස්කර ගන්නා ලද ලකුණු 39 පිහිට නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගකාරී ලකුණු මට්ටමක් වෙත පිවිසීමට වරම් දිනා ගන්නා ලදි.

රුවන් වසන්ත හට සහය වූ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක චන්දන දේශප්‍රිය (B2) 4 පහර 3ක් සිය ලකුණු සටහන එකතු කරගත්තේ ලකුණු 24ක් රැස්කර ගනිමිනි. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන B3 කාණ්ඩයේ (වැඩි දෘශ්‍ය) නරේෂ් ජුම්ඩා ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 22කට එක් කඩුල්ලක් දවා ගන්නා ලදි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉන්දීය අභියෝගය මැඩලයි

ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට කරට කර සටනක් දුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසන් පන්දු වාරය දක්වාම ඉතාමත් දක්ෂ ලෙස තරග වැදුණි. කෙසේ නමුත් ඉවසිලිවන්ත ලෙස පිතිකරණයේ නිරත වූ දකුණතින් පිතිකරණයේ නිරත වන සුනිල් රමේෂ් නොදැවී ලකුණු 52*ක් ලබා ගත්තේ ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යමිනි. මීට අමතරව දකුණත් පිතිකරුවෙක් වන ගනේෂ් මුදගර් ලකුණු 34යි.

මෙම තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 7කින් ජය ගැනීමත් සමඟ තරග පහකින් සමන්විත විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ප්‍රබල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

>> තෙවන එක්දින තරගයේ ඡායාරූප ඇල්බමය <<

ශ්‍රී ලංකාව – 168/9 (20): රුවන් වසන්ත 39, චන්දන දේශප්‍රිය 24, නරේෂ් ජුම්ඩා 1/22.

ඉන්දියාව – 169/3 (19.1): සුනිල් රමේෂ් 52*, ගනේෂ් මුදගර් 34.

තරගයේ වීරයා –  සුනිල් රමේෂ් (ඉන්දියාව)

දෙරට අතර පැවැත්වෙන දෙවන විස්සයි – විස්ස ක්‍රිකට් තරගය හෙට (20) බී. ආර්. සී පිටියේ පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<