ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉන්දීය අභියෝගය මැඩලයි

322
Sri Lanka Blind Cricket

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (15) පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු දෙකකින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුනේ 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගනිමිනි.

ඉන්දියාව පරාජය කරන්නට සැරසෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ශූරයෝ

2018 වසරේ පැවති දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත්…

කොළඹ BRC පිටියේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක චන්දන සූරියආරච්චි පළමුව පන්දු රැකීමට තීරණය කළා. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 40 අවසන් වීමට පෙර සියල්ලන්ම දැවී ගියේ ඔවුන්ගේ ඉනිම ලකුණු 260 සීමාකර ගනිමිනි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් දුර්ගා රාවෝ ලකුණු 64ක් ලබාගන්නා විට දීපක් මලික් හා ආර්. රම්බීර් තවත් අර්ධ ශතක දෙකක් ලබාගෙන ඉන්දීය ලකුණු පුවරුව සවිමත් කළා. පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන B2 කාණ්ඩයේ දිනේෂ් මතුගම ලකුණු 35කට කඩුලු 4ක් දවා ගත්තා.

ලකුණු 261ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා  දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දුවාර 33කට සීමා කළා.

ඒ නිසා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමට නියමිතව තිබුණේ ලකුණු 233ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අජිත් සිල්වා එම ලකුණු ප්‍රමාණය වෙත යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට සහය වුනේ ලකුණු 68ක් ලබා ගනිමිනි. එම අලංකාරවත් ඉනිම 4 පහර 6කින් අලංකාරවත් විය. පන්දුවාර 28යි පන්දු 2ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 233ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් වෙත ලැබුණු ඉලක්කය සාර්ථකව හඹා ගියේ කඩුලු දෙකක ජයක් ලබා ගනිමිනි. පන්දු යැවීමේ දී දුර්ගා රාවෝ ලකුණු 32කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (16) කොළඹ BRC පිටියේ පැවැත්වෙන අතර තරගාවලියේ සියලුම තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ඉන්දියාව – 260/10 (37.2): දුර්ගා රාවෝ 64, දීපක් මලික් 54, ආර්. රම්බීර් 50, දිනේෂ් මතුගම 4/35.

ශ්‍රී ලංකාව – 233/8 (28.2): අජිත් සිල්වා 68, දුර්ගා රාවෝ 3/32.

තරගයේ වීරයා – දිනේෂ් මතුගම (ශ්‍රී ලංකාව)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <