සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ප්‍රබල ඉන්දීය කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අනිද්දා (20) සිට ආරම්භ වේ. අද වන විට තරමක් පසුබෑමකට ලක්ව සිටිය ද කලකට පෙර ශ්‍රී ලංකා පිතිකරුවන්, ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අතිශයින්ම සාර්ථක වූ අවස්ථා බොහෝ ප්‍රමාණයක් ඇත. ThePapare.com අපි අද සොයා බලන්නේ ඉතිහාසයේ අමරණීය ලෙස සටහන් වූ එවන් එක්දින ඉනිම් කිහිපයක් පිළිබඳවයි.

ඉන්දියාවට එරෙහිව සිංහයින්ගේ හොඳම එක්දින පන්දු යැවීම්

සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය මෙම ඉරිදා (20) දඹුල්ල රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී…

සනත් ජයසූරිය 189 (සාජා 2000)

Sanath

මීට වසර 17කට පමණ පෙර පැවති ‘Coca-cola’ කුසලාන අවසන් මහා තරගය මෙරට ක්‍රීඩාලෝලීන්ගේ මතකයේ සටහන්ව ඇති අපූර්වතම තරගයකි. එම තරගය සඳහා ක්‍රීඩා කළ “වමත් කසකරු” ලෙසින් විරුදාවලි ලද ප්‍රවේගකාරී පිතිකරු සනත් ජයසූරියට 2000 වසරේ ඔක්තෝබර් 29 වැනිදා දිනය ඉතාමත්ම සුවිශේෂී විය. එදින ඉන්දීය කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගය වෙනුවෙන් ශක්තිමත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද හිමිව තිබුණේ ඔහුටයි.

‘Coca-cola’ කුසලානය වෙනුවෙන් ඉන්දීය පිළේ බලාපොරොත්තු සඵල කර දීමේ වගකීම එවකට සිටි සුපිරි ක්‍රීඩා තරුවක් වූ සෞරව් ගංගුලිට හිමිව තිබුණි. කාසියේ වාසිය දිනාගත් සනත් ජයසූරිය ඉතාමත් වියළි, පිතිකරණ පාරාදීසයක් ලෙසින් දිස්වූ සාජා තණතීරුවේ මුලින්ම පිත්ත අතට ගන්නට අදහස් කළේය. ඒ අනුව පන්දුවාර 50 තුලදීම විචිත්‍රවත් පිතිහරඹයක් දියත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 299ක් රැස් කළහ. පන්දු යවන්නන් ක්‍රිකට් රාජධානියේ අණසක පැතිරවූ එකල මෙය ඉතාමත්ම ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලෙස සැලකුණි.

එහි දී ඉන්දියානු පන්දු යවන්නන්ට දිගට හරහට පහර එල්ල කළ සනත් ජයසූරිය තම ප්‍රවේගකාරී ක්‍රීඩා කෞෂල්‍යය සමස්ත ලෝකය හමුවේ විදහා දැක්වීය. ඒ පන්දු 161ක් තුල දී ලකුණු 189ක් වාර්තා කර ගනිමිනි. එය අද වනතුරුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු එක්දින තරගයක දී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස නොමැකී පවතී. ජයසූරියගේ මෙම අනර්ඝ ඉනිමට කස පහර වැනි හතරේ පහර 21ක් ද, ප්‍රේක්ෂකයින් අතරට එල්ල වුනු දැවැන්ත හයේ පහර 4ක් ද ඇතුළත් විය. ප්‍රහාරක වේගය 117.39යි.

එම සමස්ත තරගයම ජයසූරිය සහ ශ්‍රී ලංකා කණ්ඩායම නමින්ම ලියා දෙමින් මෙම දැවැන්ත ලකුණු පුවරුව හඹායාමට උත්සාහ දැරූ ඉන්දීය කණ්ඩායම ලකුණු 54ක් තුල දී දැවී ගියේ විශ්මයජනක අන්දමිනි. ඒ අනුව ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයෙන් ලකුණු 245ක ජයග්‍රහණයක් මෙන්ම ‘Coca-cola’ කුසලානය ද දිනා ගැනීමට අවස්ථාව උදාවිය. තරගාවලිය පුරාවට අති විශිෂ්ට දක්ෂතා අතර සිටි ශ්‍රී ලංකා නායක සනත් ජයසූරියට තරගයේ වීරයා ලෙස මෙන්ම තරගාවලියේ වීරයා ලෙසද සම්මාන හිමිවිය.

උපුල් තරංග 174* (කිංග්ස්ටන් 2013)

Upul

තුන්කොන් එක්දින තරගාවලියේ පැවති තෙවැනි එක්දින තරගය ශ්‍රී ලාංකික වමත් පිතිකරු උපුල් තරංගට අතිශයින්ම වැදගත් විය. ඒ ඔහුගේ දීර්ඝ එක්දින දිවියේ හොඳම ඉනිම වාර්තා කරගන්නට එම තරගය ඉවහල් වූ බැවිනි. 2013 වසරේ ජූලි මස දෙවැනිදා කිංග්ස්ටන් ක්‍රීඩාංගණයට එක්රැස් වූ සියලුම ප්‍රේක්ෂකයින්ට එම සුපිරි ඉනිම දැකබලා ගැනීමේ ඉඩකඩ විවර විය. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාත් කෝලි අතිශයින්ම පිතිකරුවන්ට යෝග්‍ය වූ තණතිල්ලේ ශ්‍රී ලංකාවට මුලින්ම පිතිකරණයේ යෙදීමේ අවස්ථාව ලබා දෙන්නට තරම් දඩබ්බර විය.

එහි වාසිය උපරිමයෙන්ම උකහා ගත් ශ්‍රී ලංකා පිළ පළමු පන්දුවාරයේ සිටම ඉන්දීය පන්දු යවන්නන්ට එලව එලවා පහර එල්ල කිරීමට පසුබට නොවීය. එහි දී ඉනිම ආරම්භ කළ මහේල ජයවර්ධන සහ උපුල් තරංග යන පිතිකරුවන් දෙදෙනාම ශතක වාර්තා කළ අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 200 ද පසු කරමින් ඉදිරියට ඇදුණි. ඉන් අනතුරුව ලකුණු 107ක් රැස් කරගත් මහේල ජයවර්ධන දැවී යාමෙන් පසු ඉනිමේ වැඩි බර තම දෙවුර මත පටවාගත් උපුල් තරංග තම සුපිරි පහරවල් මඟින් පිටියම වර්ණවත් කිරීමට ද සමත් විය. ඔහුගේ නොදැවුණු ලකුණු 174ට පන්දු 159ක් පමණක් වැය වූ අතර මනරම් හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් ඉනිම තුල අන්තර්ගත විය. ඔහුට ස්තූති වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී දැවැන්ත ලකුණු 348ක් රැස්කර ගැනීමට ද අවකාශය උදාවිය.

මෙම සුපිරි ඉනිම ඔහුගේ එක්දින කණ්ඩායමේ ස්ථානය පිළිබඳව ඇතිවී තිබූ ගැටලුකාරී තත්ත්වයන් රැසකට ද නිසි පිළිතුරු සැපයීය. අවසානයේ තරංගගේ සහයෝගය නිසා ශ්‍රී ලංකාවට අසල්වැසි ඉන්දියාවට එරෙහිව අති දැවැන්තම ජයග්‍රහණයක් ලබා ගැනීමට ද අවස්ථාව හිමි විය. ඒ ලකුණු 161කිනි. තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට ද උපුල් තරංග තරම් සුදුස්සෙකු තරගය තුල දී බිහි නොවීය.

තිලකරත්න ඩිල්ශාන් 160 (රාජ්කොට් 2009)

Dilshan

ඉන්දියානු නිජ භූමිය තුල දී ම ශ්‍රී ලාංකික සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ශාන් එල්ල කළ මෙම දරුණු ප්‍රහාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේමියෙකුට නම් කිසි විටෙකත් අමතක විය නොහැකිය. එතරම් ආශ්චර්යමත් මෙම සුපිරි ඉනිම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට ද දැවැන්ත කළු පැල්ලමක් ඇති කිරීමට හේතුවූයේ ඔවුන් තම මව්බිම තුල දී විදෙස් පිතිකරුවන් පහසුවෙන්ම මෙල්ල කොට නමක් දිනාගෙන තිබූ බැවිනි.

2009 වසරේ දෙසැම්බර් මාසයේ දී ශක්තිමත් කණ්ඩායමකින් හෙබි ශ්‍රී ලංකා පිළ ඉන්දියාව බලා පියාසර කරන්නේ තරග 5කින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා සහභාගි වීමේ අපේක්ෂාව සහිතවයි. කතාබහට ලක්වුණු තරගයේ දී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර ඉන්දියානුවන්ට අභියෝග කළේ හොඳින් ලකුණු ඇති රාජ්කොට් තණතීරුවේ හැකිතාක් ලකුණු රැස්කර ගන්නා ලෙසයි. එයට සාර්ථක පිළිතුරක් ලබා දුන් විරේන්දර් ශෙවාග් ඉනිම ආරම්භයේ සිටම සුපිරි පිතිකරණයක නිරත වෙමින් පන්දු 102ක් තුල දී ලකුණු 146ක් වාර්තා කර ගත්තේය.

ඔහුගේ මෙම අනුකම්පා විරහිත ප්‍රහාරය නිසා ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 414ක් ලබා ගැනීමට ද අවස්ථාව උදා විය. අදටත් එය ඉතිහාසගත වී තිබෙන්නේ ඉන්දීය කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඒ අනුව පන්දු යැවීමේ දී මුණින්තලා වී ඇද වැටුණු ශ්‍රී ලංකාවට පන්දු 300ක් තුල දී ලකුණු 415ක් ලබා ගැනීමේ අති දුෂ්කර ඉලක්කයක් ද හිමි විය. නමුත් ශ්‍රී ලංකාව කවදත් අභියෝග හමුවේ නොසැලෙන ජාතියක් බව උදාහරණයකින්ම පෙන්නුම් කළ තිලකරත්න ඩිල්ශාන් තම එක්දින දිවියේ විශිෂ්ටතම ප්‍රහාරය එල්ල කිරීමට එදා දිනයම තෝරා ගත්තේය.

ඒ පන්දු 124ක් තුල දී ප්‍රවේගකාරී ලකුණු 160ක් වාර්තා කර ගනිමිනි. රූපවාහිනියෙන් තරගය නැරඹූ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට පවා මහත්වූ අභිමානයක් ගෙන දුන් මෙම විශිෂ්ට ඉනිමට අනර්ඝ හතරේ පහර 20ක් සහ දැවැන්ත හයේ පහර 3ක් ඇතුළත් විය. එහි දී ඔහුගේ ප්‍රහාරක වේගය සටහන් වූයේ 129.03ක් තරම් ඉහළ අගයකයි. හර්බජාන් සින්ගේ දඟ කැවුණු පිටදඟ පන්දුවක් කඩුල්ලේ දැවටී දැවී යන තුරුම ඔහු තරගය තම පාලනය යටතේ තබා ගැනීමට ද සමත්කම් දැක්වීය.

මෙම සුපිරි ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝකයම පුදුම කරවන විරල ගණයේ ජයක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව විවර වුවද තිලිණ කණ්ඩම්බි සහ තිලාන් සමරවීර යන මැදපෙළ පිතිකරුවන් දෙදෙනාම තරගයේ තීරණාත්මක අවස්ථාවල දී දුවද්දී දැවී යාම නිසා තරගයේ තීරණය අවසන් මොහොතේ කණපිට හැරුණි. අවසන් පන්දුවාරය යැවූ වමත් වේග පන්දු යවන ක්‍රීඩක අශිශ් නෙහ්රාගේ වෑයම සාර්ථක වීමත් සමඟම ඉන්දියානුවන්ට ලකුණු 3ක තියුණු ජයක් හිමිවිය.

සනත් ජයසූරිය 151* (මුම්බායි 1997)

Sanath

“Pepsi” නිදහස් කුසලාන එක්දින තරගාවලියේ සිව්වැනි තරගය අතරතුර දී සනත් ජයසූරිය මෙම සුපිරි ඉනිම ක්‍රීඩා කිරීමට සමත් විය. තරගය පැවැත්වුනේ බොලිවුඩ් ලොව අග නගරය ලෙසින් සැලකෙන මුම්බායි පුරවරයේදීයි. කාසියේ වාසිය ජය ගත් ඉන්දීය නායක සචින් ටෙන්ඩුල්කාර් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ ද ඊට සාධාරණයක් ඉටු කිරීමට ඉන්දියානු පිතිකරුවන්ට නොහැකි විය. ඒ පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ගිය ඔවුන් ලකුණු 225කට සීමා වූ බැවිනි.

ඒ අනුව පහසු ඉලක්කයක් සඳහා කුරුමානම් ඇල්ලූ ශ්‍රී ලංකා පිළේ ආරම්භය අසාර්ථක වූයේ රොමේෂ් කළුවිතාරණ ලකුණු නොලබාම පිටිය හැර යාමත් සමඟයි. කෙසේ වෙතත් “සුණුවිසුණු කරන්නා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සනත් ජයසූරිය නොසැලී කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂක බලාපොරොත්තු මල්ඵල ගැන්වීමට සමත් විය. ඒ පන්දු 120කින් නොදැවී ලකුණු 151ක් රැස්කර ගනිමිනි. ඔහුගේ ඉනිම තුල ප්‍රවේගකාරී හතරේ පහර 17ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. ප්‍රහාරක වේගය 125.83යි. සනත්ගේ මෙම සුවිශේෂී පිතිකරණය නිසා ශ්‍රී ලංකාවට ඉන්දියානු රාජධානිය තුල දී ම විශිෂ්ට ජයක් හිමි වූ අතර තරගයේ වීරයා ලෙස ඔහු තම වික්‍රමාන්විත ඉනිම වෙනුවෙන් සම්මාන දිනා ගත්තේය.

අර්ජුන රණතුංග 131* (ආර්. ප්‍රේමදාස 1997)

Arjuna

එම වසරේම ඉන්දීය කණ්ඩායම මෙරට සිදු කළ තරග සංචාරය අතරතුරේ දී මෙම ඓතිහාසික ඉනිම ක්‍රීඩා කිරීමට එවකට ශ්‍රී ලංකා පිළේ නායකයා වශයෙන් කටයුතු කළ අර්ජුන රණතුංග සමත් විය. ඒ “Pepsi” අනුග්‍රහයෙන් පැවති ආසියානු කුසලානයේ තුන්වැනි එක්දින තරගයට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී එක් වෙමිනි. ඒ වන විට ලෝක ශූරයින් ලෙස වැජඹුණු ශ්‍රී ලංකා පිළ ලොව ඕනෑම අභියෝගයක් පිළිගන්න්ට සැදී පැහැදී සිටියහ. කාසියේ වාසිය ජය ගත් අර්ජුන රණතුංග අසල්වැසි ඉන්දියාවට ආරාධනා කළේ මුලින් පන්දුවට පහර දීමටයි. ඒ අනුව තම නායකයාගේ තීරණය නිවැරදි බවට සනාථ කිරීමට වෙහෙස වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රබල ඉන්දියානු පිතිකරණ බල ඇණිය ලකුණු 227කට සීමා කිරීමට සමත් වූහ. ඒ කඩුලු 6ක් දැවී ගොස් තිබියදීයි.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යෑමේ දී ශ්‍රී ලංකා පිතිකරණ බල කණු දෙක වන සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා අඩු ලකුණු සංඛ්‍යා වලට දැවී ගිය අතර ඉනිම ඉදිරියට රැගෙන යාම සඳහා ගැලවුම්කරුවෙකු අත්‍යවශ්‍ය විය. එම පුරප්පාඩුව සපුරාලනු ලැබුවේ අංක 4 පිතිකරු ලෙස පිටිය මැදට පියමන් කළ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංගයි. පන්දු 152ක් තුල දී වාර්තා වුනු ඔහුගේ ලකුණු 131ට දැකුම්කළු හතරේ පහර 17ක් ද ඇතුළත් විය. ඔහු තම එක්දින දිවියේ විශිෂ්ටතම ඉනිම ලෙසින් ක්‍රීඩා කළ මෙම දර්ශනීය ශතකය එදින ප්‍රබල ඉන්දියානුවන්ව පරාජය කිරීම සඳහා ද මහත් සේ උපකාරී විය.

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න