ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් 4ක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

6357

2021 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන, 15 දෙදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නිල සංචිතය අද (10) මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

අවසන් සංචිතයට අනුව ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ වෙනස්කම් 4ක් සිදුව තිබෙනවා. පසුගිය සැප්තැම්බර් 12 වැනිදා නම් කරන ලද සංචිතයේ සිටි ලහිරු මධුසංක (ආබාධයකට ලක්ව ඇත), කමිඳු මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම සහ නුවන් ප්‍රදීප් (ආබාධයකට ලක්ව ඇත) වෙනුවට බිනුර ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, අකිල දනංජය සහ ලහිරු කුමාර යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඕමානය සමඟ පැවති පුහුණු තරග දෙකෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ වෙනස්කම් 4 සිදු කිරීමට පියවර ගෙන තිබෙන්නේ ඔක්තෝබර් 10 වැනිදාට (එනම් අද) පෙර සියලු කණ්ඩායම්වල නිල සංචිත තෝරා අවසන් කර යුතු නිසයි.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමේ උපනායකත්වය ධනංජය ද සිල්වා වෙත ලබා දී තිබෙන අතර කඩුලු රකින පිතිකරුවන් ලෙස දිනේෂ් චන්දිමාල් සහ කුසල් පෙරේරා මේ සංචිතය සඳහා නම් කර තිබෙනවා.

23 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු මෑතක දී පැවති සීමිත පන්දුවාර තරගවල දී ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසීමට සමත් වූ අතර ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කිරීම වෙනුවෙන් චරිත් අසලංක, පැතුම් නිස්සංක සහ භානුක රාජපක්ෂ ද මේ සංචිතය සඳහා ඇතුළත් කර තිබෙනවා.

කෙසේ නමුත් ඕමානය සමඟ පැවති තරග දෙකට අනුව එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ යම් වෙනසක් වීමට ඉඩක් තිබෙනවා.

දසුන් ශානක, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, වනිඳු හසරංග යන ක්‍රීඩකයින් මේ ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයේ සිටින තුන් ඉරියව් දස්කම් දැක්විය හැකි ප්‍රධාන ක්‍රීඩකයින් වෙනවා.

ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනා ලෙස වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග කටයුතු කරනු ඇත.

චමීරගේ ප්‍රධානත්වයෙන් යුත් වේගපන්දු බල ඇණිය සවිබලගැන්වීම වෙනුවෙන් වමතින් වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු සහ දකුණතින් වේගපන්දු යවන ලහිරු කුමාර ද මේ සංචිතය සඳහා ඇතුළත්. 21 හැවිරිදි මහීෂ් තීක්ෂණ සහ අකිල දනංජය දඟපන්දු බල ඇණිය සවිබල ගන්වනු ඇත.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා අවසන් සංචිතය: දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, පැතුම් නිස්සංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල දනංජය

සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ දී A කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකාව එහි දී නැමීබියාව, නෙදර්ලන්තය සහ අයර්ලන්තය සමඟ තරග වැදීමට නියමිතයි. B කාණ්ඩය යටතේ බංග්ලාදේශය, ස්කොට්ලන්තය, ඕමානය සහ පැපුවා නිව් ගිනියාව තරග කරනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයෙන් සුපිරි 12 වටයට යාමට සමත් වුවහොත්, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පිළිවෙළින් A1 සහ B1 ලෙස සුපිරි 12 වටයේ සිය අසුන් වෙන් කර ගනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට තේරී පත්වුවහොත්, සුදුසුකම් ලබා ගැනීමේ වටයේ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම (ස්කොට්ලන්තය/ඕමානය/PNG), ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය සමඟ තරග කිරීමට නියමිතයි.

පළමු වටයේ ශ්‍රී ලංකා තරග කාලසටහන,

  • නැමීබියාවට එරෙහි තරගය – ඔක්තෝබර් 18 වැනිදා – අබුඩාබි හිදි
  • අයර්ලන්තයට එරෙහි තරගය – ඔක්තෝබර් 20 වැනිදා අබුඩාබි හිදි
  • නෙදර්ලන්තයට එරෙහි තරගය – ඔක්තෝබර් 22 වැනිදා සාජා හිදි

සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබාගතහොත් ශ්‍රී ලංකා තරග කාලසටහන,

  • ස්කොට්ලන්තය/ ඕමානය/ PNG සමඟ තරගය – ඔක්තෝබර් 24 වැනිදා සාජා හිදි
  • ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය – ඔක්තෝබර් 28 වැනිදා සාජා හිදි
  • දකුණු අප්‍රිකාවට එරෙහි තරගය – ඔක්තෝබර් 30 වැනිදා සාජා හිදි
  • එංගලන්තයට එරෙහි තරගය – නොවැම්බර් 1 වනිදා – සාජා හිදි
  • බටහිර ඉන්දීය කොදෙව් සමඟ තරගය – නොවැම්බර් 4 වැනිදා අබුඩාබි හිදි

කණ්ඩායම් 16කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලානයේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<