පළමු දින‍යේ කොදෙව් පළමු ඉණිම අවසන්

1669
Sri Lanka A vs West Indies A
අසේල ගුණරත්න කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ප්‍රථම දිනයේ පන්දු යවමින් ©ThePapare.com

දිමුත් කරුණාරත්නගේ නායකත්වය සමඟින් තරඟාවලියට පිවිසෙන සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය අද (04) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී, පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයත් සමඟින් ආරම්භ විය.

පසුගිය ලිපි: රෝස පැහැති ක්‍රිකට් පන්දුවේ ශ්‍රී ලංකා කල එළි දැක්ම සටහන්වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් නායක ශම්රා බෘක්ස් තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

ඒ සමඟින් පිටියට පිවිසි කොදෙව් A කණ්ඩායමේ රජේන්ද්‍ර චන්ද්‍රික හා කිරෙන් පවල්ගේ ආරම්භක සබඳතාවය එතරම්ම සාර්ථක නොවූ අතර පළමු කඩුල්ල ලෙස ලකුණු 05ක් ලබා සිටි රජේන්ද්‍ර චන්ද්‍රික දැවීයන ලදි.

 ඡායාරූප ඇල්බමය 

අනතුරුව තෙවන කඩුල්ල සඳහා යම්තාක් දුරට හෝ සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ලකුණු 36ක් ලබා සිටි කිරෙන් පවෙල්, බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායමේ ලකුණු පුවරුව  ලකුණු 56ක් ලෙස දැක්වෙද්දී තෙවන කඩුල්ල ලෙස දැවීයන ලදි.

ලකුණු 56කට කඩුලු 3ක් ලෙස සටහන්ව යම් අපහසුතාවට පත්ව සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කණ්ඩායමේ නායක ශම්රා බෘක්ස් හා විශාල් සිං ලකුණු 125ක වැදගත් සබඳතාවයක් 4 වන කඩුල්ල සඳහා ගොඩනංවන ලදි. එම ලකුණු 125ක සබඳතාවය අවසන් කරමින් නායකත්වයේ පිතිහරඹයක් දියත් කල ශම්රා බෘක්ස් 4 පහරවල් 9ක් සමඟින් පන්දු 107කදී ලකුණු 65ක් ලබාගෙන තම අර්ධ ශතකය සම්පූර්ණ කරගත් පසුව අසේල ගුණරත්නගේ පන්දුවක් හමුවේ දැවීයන ලදි.

එම දැවීයාමෙන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායමේ ඊළඟ ලකුණු 4 ඇතුලත තවත් කඩුලු දෙකක් දවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. අනතුරුව පිටියට පැමිණි අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන කෙමා රොච් සමඟ එක්වූ විශාල් සිං පිටියේ ස්වභාවය මනාව අවබෝධ කරගෙන පන්දුවට පහරදුන් අතර ඔවුන් දෙදෙනාගේ 7 වන කඩුල්ල සඳහා සබඳතාවය ලකුණු 66ක් විය. එම සබඳතාවයට ද තිත තබා ශතකය පෙනෙන මානයටම පැමිණ අවාසනාවන්ත ලෙස දැවීයාමට විශාල් සිංට සිදුවූ අතර, ඔහු 4 පහරවල් 9ක් සමඟින් කඩුල්ල තුළ රැදී සිටිමින් ලකුණු 96ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබාගන්නා ලදි.

මෙම ඉණිම තුල එල්ල වූ 6 පහරවල් දෙකටම හිමිකම් කියූ කෙමා රොච් නොදැවී ලකුණු 45*ක් ලබාගත් අතර ඔහුගේ ඉණිමට 4 පහර 3ක් හා 6 පහර 2ක් අන්තර්ගත විය. අවසානයේ ඔහුගේ අර්ධ ශතකයද ඔහුට ලගාකර ගැනීමට නොහැකි විය.

බටහිර ඉන්දීය කොදෙව්  A පළමු ඉණිම – 276/10 (86.4): විශාල් සිං 96, ශම්රා බෘක්ස් 65, කෙමා රොච් 45*, කිරෙන් පවෙල් 36, අසේල ගුණරත්න 3/27, අසිත ප්‍රනාන්දු 2/35, චරිත් අසලංක 2/53

කොදෙව්වනගේ ලකුණු 276ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා A කණ්ඩායම තම පළමු ඉණිම ආරම්භ කලද දිමුත් කරුණාරත්නට එකදු ලකුණක් හෝ ඔහු මුහුණ දුන් පන්දු 6 තුලදී ලබාගැනීමට නොහැකි විය.

ශ්‍රී ලංකා A පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 0/0 (1): දිමුත් කරුණාරත්න 0*, කුසල් ජනිත් පෙරේරා 0*

මෙම පළමු නිල නොවන සිව්දින ක්‍රිකට් තරගයේ දෙවන දිනය හෙටත් (05) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට