කඩා වැටුණු පිතිහරඹයට පන්දුවෙන් පැලැස්තරයක්

535
Sri Lanka A v Pakistan A

පාකිස්තානු A කණ්ඩායම සමග පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3වන දිනය තුළ ශ්‍රී ලංකා A දෙවන ඉනිම ලකුණු 131කට සීමා වුවත් පන්දු යවන්නන් පළමු ඉනිමේ වාසියද ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ බලාපොරොත්තුවක් ගෙන දෙන්නට සමත් විය.

පසුගිය ලිපි: ජයපැරදුම නැති ජොශුවා ගේ ප්‍රහාරය

එංගලන්තයේ Leicester හීදී පැවැත්වෙන මේ තරගයේ 3වන දිනය වූ ඊයේ, තරගය ආරම්භ කරන විට පාකිස්තානු A  කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 271ක් ලබා සිටින ලදී. නමුත් ලහිරු ගමගේ සහ විශ්ව ප්‍රනාන්දු තවත් ලකුණු 6ක් තුළ ඉතිරි කඩුලු  2 දවාගත්තේ ශ්‍රී ලංකා A පිළට පළමු ඉනිමේ ලකුණු 22ක වාසියක්ද ඉතිරි කරමිනි.

ලකුණු 277කට අවසන් වූ පාකිස්තානු A පළමු ඉනිමට, මොහොමඩ් නවාස් ලකුණු 68කින් සහ නායක බාබර් අසාම් ලකුණු 62කින් දායක විය. පන්දු යැවීමේදී ලහිරු ගමගේ,අසිත ප්‍රනාන්දු, සචිත් පතිරණ සහ අශාන් ප්‍රියන්ජන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියන ලදි.

අසිසුල්ලාගේ දකුණත් මදවේග පන්දු සහ මොහොමඩ් නවාස්ගේ වමත් දඟ පන්දු හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා A පිතිකරුවන්ට දෙවන ඉනිමේදී සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 133ක් පමණි. මිනෝද් භානුක ලකුණු 26ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙද්දී සචිත් පතිරණ නොදැවී ලකුණු 21ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා අවසන් කඩුලු 4 එක් ලකුණක් තුළ බිඳවැටීම විශේෂත්වයක් ලෙස සදහන් කල හැකි. මේ අනුව වරෙක 130/6 ක් ලෙස දැක්වුණු ලකුණු පුවරුව පන්දු 12ක් තුළ 131/10 ක් බවට පත්විය. අසිසුල්ලා සහ නවාස් කඩුලු 8ක අයිතිය සමව බෙදා ගන්නා ලදී.

පසුගිය ලිපි: සීතල පන්දු ගල්කල උණුසුම් පිතිකරණය

ජයග්‍රහණය සඳහා පාකිස්තානු A කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 154ක්. ඉතා පහසු ලෙස පෙනුනත් එම ඉලක්කය ඉතා අසීරු එකක් බවට පත් කරන්නට ශ්‍රී ලංකා A පන්දු යවන්නන් සමත්විය. විශ්ව ප්‍රනාන්දු ඉක්මන් කඩුලු 2කින් පාකිස්තානු A කණ්ඩායමේ ආරම්භය කඩතොළු කරද්දී අසිත ප්‍රනාන්දු නායක බාබර් අසාම්ව ක්‍රීඩාගාරය වෙත යැවීමට සමත්විය. පාකිස්තානු A ඉනිමේ ලකුණු 10 ඉක්මවූ එකම සබඳතාව තම 2වන පන්දු වාරයේදීම බිඳ දැමු සචිත් පතිරණ, ජාත්‍යන්තර අත්දැකීම් රැසක් ඇති බිලාවල් භාට්ටි හට කඩුල්ලේ රැඳී සිටින්නට අවසර දුන්නේ පන්දු 2ක් පමණයි.

මේ අනුව ඊයේ 3වන දිනයට තරගය නතර කරන විට පාකිස්තානු A කණ්ඩායම දෙවන ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 38ක් ලබා සිටියා. ආරම්භක පිතිකරු ජාහිඩ් අලී ලකුණු 16ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියි.

ශ්‍රී ලංකා A පළමු ඉනිම – 299 (මහේල උඩවත්ත 64, රොෂේන් සිල්වා 48,හසන් අලි 4/63, මොහොමඩ් නවාස් 2/35)

පාකිස්තාන A පළමු ඉනිම – 277 (මොහොමඩ් නවාස් 68, බාබර් අසාම් 61, සර්ජීල් ඛාන් 42, උමාර් සිද්ධික් 39, අශාන් ප්‍රියන්ජන් – 2/25, අසිත ප්‍රනාන්දු 2/42, සචිත් පතිරණ 2/54, ලහිරු ගමගේ 2/68)