දෙසැම්බර් මස 01 සිට 10 දක්වා පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද (07) සාර්ථකව නිමාවට පත්වූයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත් ක්‍රීඩාංගණයේ දීයි.

1991 වසරෙන් පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් SAG ඉතිහාසයේ දී වාර්තා කළ වැඩිම රන් පදක්කම් ප්‍රමාණය මෙවර තරගාවලියේ දී වාර්තා කරන්නට සමත් වූයේ රන් පදක්කම් 15ක අයිතිය ශ්‍රී ලංකාවට උරුම කර දෙමිනි. (ගියවර රන් පදක්කම් ගණන 9ක්)

ඒ අනුව අද දිනය අවසානයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 6ක්, රිදි පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමස්ත පදක්කම් සටහනට එකතු කරන්නට සමත් විය.

100×4 අට දෙනාම රන් ශූරයෝ; නිලානි දෙවැනි රන් පදක්කමට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව් හි සිව්වැනි දිනය අද (06) සාර්ථකව නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා….

මලල ක්‍රීඩා තරගාවලියට ලොමු ඩැහැගන්වන අවසානයක් උරුම කර දෙන්නට මීටර් 4×400 ඉසව්වට සහභාගී වුන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූයේ ඉසව්වේ රන් පදක්කම විජයග්‍රහණය කරමිනි. 

ඔමායා උදයංගනි, ගයන්තිකා අබේරත්න, කෞෂල්‍යා මධුෂානි සහ ඩිල්ෂි කුමාරසිංහ එම සහය දිවීමේ කණ්ඩායමේ සාමාජිකාවන් විය. ඉසව්ව ආරම්භ කළ ඔමායා පළමු යෂ්ටි හුමාරුවේ දී ගයන්තිකාට යෂ්ටිය ලබා දුන්නේ තරමක පසුබෑමක් සහිතවයි. ගයන්තිකා ධාවන පටන් ගන්නා විටත් ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩිකාවන් ධාවනය ආරම්භ කර තිබූ අතර ඔවුන් දෙදෙනා පසුපස වේගයෙන් දිව ගිය ගයන්තිකා දෙවැනි යෂ්ටි හුමාරුවේ දී පරතරය තරමක් අවම කරන්නට සමත් වූවාය. 

ගයන්තිකා ගෙන ආ යෂ්ටිය  කෞෂල්‍යා ලක්මාලි විසින් ලබා ගත් අතර පාදයේ ආබාධයක් සහිතව වුවත් ඇය සාර්ථකව ඉදිරියෙන් ඇදුණු ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩිකාවන්ට අභියෝග කරමින් යෂ්ටිය ඩිල්ෂිට ලබා දුන්නේ ඩිල්ෂි තෙවැන්නා ලෙස අවසන් වටය ආරම්භ කරමිනි.

>> දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගය නැරඹූ සියලු ශ්‍රී ලාංකිකයන් රන් පදක්කම් බලාපොරොත්තු අතහැර සිටි මොහොතක ඩිල්ෂි ජයග්‍රාහී රේඛාව පෙනෙන මානයේ දී ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩිකාවන් පසුකර යමින් දුරින් තිබූ රන් පදක්කම් සිහිනයක් යථාර්ථයක් කරන්නට සමත් වූයේ ලොමු ඩැහැගන්වන අවසානයක් සනිටුහන් කරමිනි. තරග නිමි කාලය දැක්වුනේ මිනිත්තු 03:41.10කි.

null

අරුණ දර්ශන, රජිත රාජකරුණා, සෙනිර ගුණරත්න සහ ලක්මාල් ප්‍රදීප් සහභාගී වූ මීටර් 4×400 පිරිමි සහය දිවීමේ ඉසව්වත් මීට දෙවැනි වූයේ නැත. එම ඉසව්ව ආරම්භ කළ අරුණ දර්ශන සාර්ථකව දිව යමින් යෂ්ටිය රජිත රාජකරුණා වෙත ලබා දුන් අතර ඔහු විසින් එය සෙනිර ගුණරත්න වෙත ලබා දුන්නේ තරමක් පසුපසින් සිටිමිනි.

වාර්තා අලුත් කරමින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉදිරියටම

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වැනි දිනය අද (06) නිමාවට වූ අතර අද දිනයේ ද ශ්‍රී ලංකා පදක්කම් සටහනට පදක්කම්….

සෙනිර විසින් අවසන් යෂ්ටි හුවමාරුව සඳහා එය ලක්මාල් ප්‍රදීප් වෙත ලබා දුන් අතර ලක්මාල් අවසන් වටය ආරම්භ කළේ තෙවැන්නා ලෙසයි. කෙසේ නමුත් ඔහු ද අවසන් වටයේ දී ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩකයින්ට අභියෝග කරමින් ඉසව්ව අවසන් කළේ තියුණු අවසානයක් සමඟින් ප්‍රේක්ෂකයින්ගේ හදවත් මොහොතකට නතර කරමිනි. තරග නිමි කාලය ලෙස දැක්වුවේ මිනිත්තු 03:08.04කි.

null

දිනයේ වාර්තා වූ පළමු රන් පදක්කම වාර්තා වූයේ මැරතන් ඉසව්වට සහභාගී වූ හිරුණි විජයරත්න විසිනි. අධික සීතලක් පැවති උදෑසනක ඇය ඉතාමත් හොඳ පරතරයක් සහිතව ඉසව්ව අවසන් කළේ පැය 2:41.24.00. කාලයක් වාර්තා කරමිනි. මේ SAG මැරතන් ඉසව්වක දී ශ්‍රී ලංකාව දිනූ ප්‍රථම රන් පදක්කමයි.

ඉසව්වේ දෙවැනි ස්ථානය නේපාල ක්‍රීඩිකාවක් වන පුෂ්පා බණ්ඩාරි (පැය 02:50.11.00) විසින් ද, තෙවැනි ස්ථානය ඉන්දීය ක්‍රීඩිකාවක් වන Jyoti Gawate (පැය 05.52.44.00) විසින් ද ජයග්‍රහණය කළහ.

null

අද දිනය අවසානයේ දී රන් පදක්කම් වාර්තා වූ තවත් ඉසව්වක් වූයේ මීටර් 800 පිරිමි සහ කාන්තා ඉසව් ද්විත්වයයි.

එහි දී පිරිමි ඉසව්ව සඳහා සහභාගී වූ ඉඳුනිල් හේරත් හොඳ තරගයක් ලබා දෙමින් ඉසව්ව අවසන් කළේ (මිනිත්තු 01:50.52) රන් පදක්කම ජයග්‍රහණය කරමිනි. ඔහු 2016 වසරේ පැවති SAG තරගාවලියේ දී ද රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් විය. ඔහු මෙම ඉසව්ව සඳහා ආබාධයක් සහිතව සහභාගී වූවත් රන් පදක්කමින් ඉසව්ව අවසන් කිරීම සැබැවින්ම පැසසුම් සහගතයි. 

null

මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගී වූ ඩිල්ෂි කුමාරසිංහ තෙවැනි රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වූයේ මිනිත්තු 02:06.18ක කාලයකින් ඉසව්ව අවසන් කරමිනි. මින් පෙර ඇය මීටර් 400 ඉසව්වේ සහ මීටර් 4×400 ඉසව්වේ දී ද රන් පදක්කම් ජයග්‍රහණය කළාය. මෙම ඉසව්වේ රන් සහ රිදි පදක්කම් සඳහා දැවැන්ත අභියෝගයක් ඩිල්ෂිට එල්ල කළේ ශ්‍රී ලංකාවේම ක්‍රීඩිකාවන් වන ගයන්තිකා අබේරත්න විසිනි. කෙසේ නමුත් කරට කර පැවති එම තරගයෙන් ගයන්තිකා දිනා ගත්තේ රිදි පදක්කමයි. ඇය වාර්තා කළ කාලය මිනිත්තු 02:08.52කි.

null

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ආධිපත්‍ය ශ්‍රී ලංකාවට උරුමකර දෙන්නට නදීකා ලක්මාලි සහ නදීෂා ලේකම්ගේ සමත් විය. එහි දී නදීෂා විසින් මීටර් 55.02 දක්ෂතාවයක් සමඟින් රන් පදක්කම ජයග්‍රහණය කරන විට, මීටර් 54.41ක දුරක් වාර්තා කළ නදීෂා රිදි පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් විය.

null

කෙසේ නමුත් හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වට සහභාගී වූ සුමේධ රණසිංහ තුන්වැනි ස්ථානයෙන් ඉසව්ව අවසන් කරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් විය. ඔහුගේ දක්ෂතාව දැක්වුනේ මීටර් 74.47ක්.

දිනයේ කිසිදු පදක්කමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා නොවූ ඉසව්ව බවට පත්වූයේ පිරිමි මැරතන් ඉසව්වයි, ඊට සහභාගී වූයේ ධම්මික අරුණසිරි ය.

ඒ අනුව අතිසාර්ථකව මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අවසන් කිරීමට ඊට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූයේ රන් පදක්කම් 15ක්, රිදි පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 7ක් සමඟින් සම්පූර්ණ පදක්කම් 34ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය කරමින්. 

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනා ගත් රන් පදක්කම් පහත පරිදි වේ.

SAG 2019 Sri Lanka Gold Medalsදකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තවත් තරග ඉසව් රැසක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි. ඒ සියල්ලේම පුවත්, තරග වාර්තා, ඡායාරූප සහ වීඩියෝ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<