SAG – හර්ෂිතා – සත්‍යාගේ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ලකුණක්!

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - ක්‍රිකට්

106

දකුණු ආසියානුකරයේ ක්‍රීඩා තරු එකිනෙක ගැටෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ විස්සයි විස්ස ක්‍රිකට් තරග අද (04) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක විය. එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකම උපරිම මට්ටමේ දස්කම් අතරට පැමිණෙමින් විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කිරීම සතුටුදායක සිදුවීමක් විය.

SAG2019 – සම්මු සහ උමේෂාගෙන් අර්ධ ශතක

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්වන් සඳහා අද (03) සහභාගී වූ ශ්‍රි ලංකා ක්‍රීඩක…

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මාලදිවයින් කාන්තා කණ්ඩායම 

සමස්ත SAG ක්‍රීඩා උළෙලම විමතියට පත් කරමින් අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ මාලදිවයිනට එරෙහිව අතිදැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් වූහ. 

එහි දී මුලින් පිතිකරණයේ යෙදුණු ඔවුන් ප්‍රතිවාදීන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 279ක් ලබා ගත්හ. එය වාර්තා අතරට ඇතුළත් වූයේ T20 තරගවල දී කාන්තා කණ්ඩායමක් ලබා ගත් තෙවැනි වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඒ මෙම වසරේ ජූනි මාසයේ දී උගන්ඩා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලබා ගත් ලකුණු 314ටත්, ටැන්සානියා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා ගත් ලකුණු 285ටත් පමණක් දෙවැනි වෙමිනි. මෙම තරග ද්විත්වයම මාලි දේශයට එරෙහිව රුවන්ඩා හිදී ක්‍රියාත්මක විය. කෙසේ වෙතත් අද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙන්නුම් කළ සුවිශේෂී දක්ෂතාවය නව ශ්‍රී ලංකා විස්සයි විස්ස තරග වාර්තාවක් ලෙසින් ඉතිහාසයට එක්විය.

අනෙක් සුවිශේෂීත්වය වන්නේ ප්‍රවීණ ක්‍රීඩිකාවන් රැසක් රහිතව SAG උළෙලට සහභාගි වූ යොවුන් ක්‍රීඩිකාවන් මෙවැනි වාර්තාවක් පිහිටුවීමයි. තරගයේ සිදු වූ ලොකුම වරද ලෙස මාලදිවයින් කණ්ඩායම කාසියේ වාසිය දිනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පිතිකරණ අවස්ථාව ලබා දීම හැඳින්විය හැකි අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට කිසිදු අභියෝගයක් එල්ල කිරීමට ඔවුන්ට හැකියාවක් නොවීය. 

තවමත් ක්‍රිකට් ක්‍රීඩාවට ආගන්තුක මාලදිවයින් ක්‍රීඩිකාවෝ අද අතිරේක ලකුණු 27ක් ලබා දීම ද කැපී පෙනුණු සිදුවීමක් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ දී මාලිංග, තිසර සහ චමරිට ඉහළ පැසසුම්

2018/19 වසර වලදී දේශීය ක්‍රිකට් පිටියේ දී මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ සිදුකරන ලද සියලු…

සමස්තයක් ලෙස ප්‍රතිවාදී පන්දුවල වේගයක් හෝ දඟ කැවීමක් දකින්නට නොලැබුණු නිසා කණ්ඩායම් නායිකා හර්ෂිතා මාධවී අද හිතේ හැටියට පහර එල්ල කරමින් පන්දු 47කින් නොදැවී ලකුණු 106ක් වාර්තා කළාය. ඒ හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟිනි. ඇය සමඟ ඉනිම අවසන් වන තුරුම පිටියේ රැඳී සිටි සත්‍යා සංදීපනී පන්දු 48කින් නොදැවී ලකුණු 96යි. ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත විය.

හර්ෂිතා සහ සත්‍යා අතර ගොඩ නැගුණු ලකුණු 221ක නොබිඳුණු සබඳතාවය වාර්තා අතරට එක්වූයේ ලොව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් එක්කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මාලදිවයින් කණ්ඩායම පන්දුවාර 15ක් නිමා වීමටත් පෙර දැවී ගියේ ලකුණු 30කටයි. පන්දු යැවීමේ දී ජනාදි අනාලි ලකුණු 2කට කඩුලු 3ක් බිඳ හෙලද්දී සත්‍යා සංදීපනී කඩුලු 2කට හිමිකම් කීවාය. අද දිනයේ කිසිදු මාලදිවයින් ක්‍රීඩිකාවක් ලකුණු 10 සීමාව පසු නොකිරීම ද සුවිශේෂී සිදුවීමකි. 

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 249ක අති දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කර ගැනීමට හැකි විය. ඒ ජගත් කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විස්සයි විස්ස තරගයක් වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් තෙවැනි අවස්ථාව ද සනිටුහන් කරමිනි. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කඩුලු 2ක් දැවී ලකුණු 279 (පන්දුවාර 20): හර්ෂිතා මාධවී 106*, සත්‍යා සංදීපනී 96*, ජනාදි අනාලි 32, උමේෂා තිමාශිනී 18, ශම්මා අලි 1/57, ලාශා හලීමත් 1/59.

මාලදිවයින් කාන්තා කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 30 (පන්දුවාර 14.5): සාජා ෆාතිමත් 6, සෝනා මාරියම් 5, හෆ්සා අබ්දුල්ලා 5, ජනාදි අනාලි 3/2, සත්‍යා සංදීපනී 2/13, උමේෂා තිමාශිනී 0/1, තාරිකා සෙව්වන්දි 1/1.

අවිශ්ක, හෂාන් සහ චතුරංග එස්. එස්. සී. පිටිය වර්ණවත් කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන වෙළඳසේවා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට්…


ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ භූතාන පිරිමි කණ්ඩායම 

SAG ක්‍රීඩා උත්සවයේ ඉහළ දස්කම් පෙන්නුම් කරමින් සිටින ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම අද කීර්තිපූර් හිදී තම දෙවැනි ජයග්‍රහණය තහවුරු කර ගත්හ. ඒ ලකුණු 173ක දැවැන්ත පරතරයක් සහිතව ක්‍රිකට් ක්‍රීඩාවට ආගන්තුක භූතාන කණ්ඩායම පරාජයට පත් කරමිනි. 

තරගයේ කාසියේ වාසිය දිනා ගත් භූතාන කණ්ඩායම මුලින් පන්දුවාර පහර දීමේ අනගි අවස්ථාව මග හැර ගත් නිසා ශ්‍රී ලංකාව ඉන් උපරිම ඵල නෙලා ගනිමින් ලකුණු 248ක් වාර්තා කර ගත්හ. ඒ කඩුලු 4ක් පමණක් අහිමි කර ගනිමිනි. 

සුපිරි ප්‍රහාරයක් දියත් කළ පැතුම් නිස්සංක අද පන්දු 48කට පමණක් මුහුණ දී ලකුණු 76ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් එල්ල කරමිනි. 

පාකිස්තාන සංචාරයේ දී ශ්‍රී ලංකාවට නව අභ්‍යාසකවරයෙක්

පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා…

පැතුම්ට නොදෙවෙනි ප්‍රහාරයක් එල්ල කළ නිශාන් මධුශ්ක අද ලකුණු 65ක් ලබා ගත්තේ පන්දු 38ක් පමණක් වැය කරමිනි. තවමත් 20 හැවිරිදි වියේ පසුවන මෙම යොවුන් ක්‍රීඩකයා ඒ අතරතුර හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් එල්ල කළේය. මීට අමතරව කමිඳු මෙන්ඩිස් පන්දු 11කින් ලකුණු 27ක් රැස් කර ගනිද්දී, නායක චරිත අසලංක ලකුණු 25ක් ලබා ගත්තේය.

මෙම දැවැන්ත ඉලක්කය හඹා යාමට උත්සාහ කළ භූතාන පිතිකරුවන්ට සාර්ථක වීමට කිසිදු අවස්ථාවක් නොලැබුණු අතර ලකුණු 75ක් තුල දී සියලුම කඩුලු අහිමි කර ගත්හ. විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු සචිඳු කොළඹගේ සහ ජෙහාන් ඩැනියෙල් කඩුලු ද්විත්වය බැගින් බිඳ හෙලූහ. කෙසේ වෙතත් නවක භූතාන ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් පුරාවට පිටියේ රැඳී සිටීම ද ඔවුන්ගේ පාර්ශවයෙන් යම් ධනාත්මක ලක්ෂණයක් විය.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම – කඩුලු 4ක් දැවී ලකුණු 248 (පන්දුවාර 20): පැතුම් නිස්සංක 76, නිශාන් මධුශ්ක 65, කමිඳු මෙන්ඩිස් 27, චරිත් අසලංක 25, ශම්මු අශාන් 14*, අශේන් බණ්ඩාර 14*, ටෙන්සින් වැංචුක් 1/16, තින්ලේ ජැම්ශෝ 1/33.

භූතාන පිරිමි කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 75 (පන්දුවාර 18.4): රන්ජුන් ඩොර්ජි 22, සෝනම් ටොබ්ගේ 10, ටෙන්සින් වාචුක් 6, සචිඳු කොළඹගේ 2/6, ජෙහාන් ඩැනියෙල් 2/8.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<