SAG – නිලානි රන් පදක්කමට දිව යද්දී හිමාෂට නූලෙන් රන් අහිමි වේ

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 – මලල ක්‍රීඩා

170

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද (03) නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලානි රත්නායක රන් පදක්කමක් ජයග්‍රහණය කරද්දී SAG රන් පදක්කම් බලාපොරොත්තුවක් වූ හිමාෂ ඒෂාන් රිදි පදක්කමක් ජයග්‍රහණය කළේය.

SAG2019 – ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ප්‍රබලයෝ තරග වදින කාලසටහන මෙන්න

13 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය (SAG) ………

උදෑසන පැවති මීටර් 1500 ඉසව්ව සඳහා ගයන්තිකා අබේරත්න සමඟින් පිටියට පිවිසි නිලානි මිනිත්තු 04:34.34ක කාලයක් වාර්තා කරමින් එහි රන් පදක්කම ජයග්‍රහණය කළාය. ගයන්තිකා එහි දී සිව්වැනි ස්ථානයෙන් ඉසව්ව නිමා කළාය.

නිලානිගේ සුපුරුදු ඉසව්ව වන මීටර් 3000 බාධක දිවීම ඉසව්ව මෙවර දකුණු ආසියානු තරගාවලියෙන් ඉවත් කර තිබුණු නමුත් දිගු දුර ධාවන ක්‍රීඩිකා හිරුණි විජයරත්ත මීටර් 5000 බාධක දිවීමේ ඉසව්වේ ඇගේ අවස්ථාව නිලානි හට ලබා දුන්නේ SAG සඳහා දොරටු විවර කරමින්.

SAG සඳහා සහභාගී වන මලල ක්‍රීඩා සංචිතයේ නායිකාව සහ මීටර් 800, මීටර් 1500 ඉසව්වේ ශූරිය වන නිමාලි ලියනාරච්චි, මලල ක්‍රීඩා සංචිතය දිවයිනෙන් පිටත් වීමට දවසකට පෙර රිය අනතුරකට මුහුණ දීම නිසාවෙන් ඇගේ මීටර් 1500 ඉසව්ව නියෝජනය සඳහා නිමාලිට අවස්ථාව හිමි විය. 

>> සියලුම ඡායාරූප මෙතැනින් <<

කෙසේ නමුත් නිමාලිට පවා ආඩම්බර විය හැකි ලෙස නිලානි ඇගේ ඉසව්ව අවසන් කළේ දිනයේ පළමු ශ්‍රී ලංකා රන් පදක්කම ජයග්‍රහණය කරමිනි.

ශ්‍රී ලංකා SAG රන් පදක්කම් බලාපොරොත්තුවක් වූ කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන් මීටර් 100 ඉසව්වේ දෙවැනි බවට පත්වුනේ මිලි තත්පරයකිනි. මාලදිවයින් ක්‍රීඩක සායිඩ් හසන් තත්පර 10.49කින් ඉසව්ව අවසන් කරන විට හිමාෂ ඉසව්ව අවසන් කළේ තත්පර 10.50කිනි. ඉසව්වේ තෙවැනි ස්ථානය පාකිස්තාන ක්‍රීඩක සමි උල්ලාහ් ය (තත්පර 10.66). හිමාෂගේ වාර්තා ගත කාලය ලෙස සඳහන් වන්නේ තත්පර 10.26කි. ඔහුගේ හොඳම පෞද්ගලික දක්ෂතාව තත්පර 10.22ක්.

මීටර් 100 කාන්තා ඉසව්ව ද ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සමත් විය. එහි දී අමාෂ ද සිල්වා තත්පර 11.82 කාලයක් වාර්තා කරමින් රිදි පදක්කම දිනා ගන්නා විට ලක්ෂිකා සුගන්ධි මිලි තත්පර දෙකක් පිටුපසින් (11.84) ඉසව්ව නිමා කරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළාය. එම දක්ෂතාවය අමාෂාගේ තරගාවලියේ හොඳම දක්ෂතාවය වන විට අමාෂාගේ හොඳම පෞද්ගලික දක්ෂතාව විය.

ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළේ ඉන්දීය ක්‍රීඩිකාවක් වන අර්චනා සුසීන්ත් ය (තත්පර 11.80).

ඒ සමඟින් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව යන ගෞරව නාමය ශ්‍රී ලංකාවෙන් ගැලවී යෑම කනගාටුදායක සිදු වීමකි. (දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව වූ රැමේෂිකා රත්නායක මෙවර SAG තරගාවලිය සඳහා සහභාගී වූයේ නැත.)

කාන්තා උස පැනීමේ අවසන් තරග ද අද ක්‍රියාත්මක වූ අතර ඊට සහභාගී වූ දුලංජලී රණසිංහ මීටර් 1.69ක උසක් වාර්තා කරමින් රිදි පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නාය. ජිධ්නා එම් 1.73ක උසක් වාර්තා කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරද්දී දුලංජලීගේ උසම වාර්තා කළ රුබීනා යාදෙව් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළාය.

SAG2019 – ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙනුත් පදක්කම් මල්ලක්

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා පදක්කම් ………

ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් වූ හිරුණි විජයරත්න ඇය සහභාගී වූ මීටර් 10,000 ඉසව්ව නිමා කළේ සිව්වැනියා ලෙසයි. ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී හිරුණි ප්‍රථම ස්ථානය දිනා ගන්නා විට දෙවැනි ලෙස ඉසව්ව අවසන් කළ නිලන්ති ලංකා අද ඉසව්ව අවසන් කළේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරමින්. 

ගියවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදි පදක්කම දිනා ගත් කුපුන් කුෂාන්ත මෙවර තරගාවලියේ දී තවත් ශ්‍රී ලංකා බලාපොරොත්තුවක් වූ නමුත් ඔහු මීටර් 1500 ඉසව්ව අවසන් කළේ පස්වැන්නා ලෙසයි. එම ඉසව්වට සහභාගී වූ අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන සංජීව ලක්මාල් සිව්වැන්නා ලෙස ඉසව්ව නිමා කළේය.

ඔහුට අමතරව උස පැනීම ඉසව්ව නියෝජනය කළ උෂාන් තිවංක ද සිව්වැන්නා ලෙස ඉසව්ව අවසන් කළේය. ඒ අනුව දිනය අවසන් විට ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් රන් පදක්කමක්, රිදි පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් සමඟින් පදක්කම් 6ක් ජයග්‍රහණය කර තිබේ.

තරගාවලියේ මලල ක්‍රීඩා තරග හෙටත් (04) පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලුම පුවත්, තරග වාර්තා, ඡායාරූප, වීඩියෝ සහ තවත් දෑ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<