තීරණාත්මක කඩඉමක් පැනීමට ශ්‍රී ලංකාව සාජා පිටියට

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

327

2021 T20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවැනි තරගය අද (30) දකුණු අප්‍රිකාවට එරෙහිව සාජා හිදී පැවැත්වෙනවා.

දකුණු අප්‍රිකාව ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වූ නමුත් ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් තරගය ජයග්‍රහණය කරමින් ජයග්‍රාහී මානසිකත්වයක් සමඟින් මේ තරගය සඳහා අවතීර්ණ වෙනවා.

ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ පැවති සුපිරි 12 වටයේ තරගය ජය ගත් නමුත්, පසුගිය 28 වැනිදා ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.

කෙසේ නමුත් සාජා තණතීරුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය මෙය වන අතර එය ශ්‍රී ලංකාවට තිබෙන අමතර වාසියක් වෙනවා.

තණතීරුවේ හැසිරීම පිළිබඳව දකුණු අප්‍රිකානු කණ්ඩායමට වඩා හොඳ අවබෝධයක් ශ්‍රී ලංකාව සතුවන්නේ, මෙවර ලෝක කුසලානයේ දී ම පමණක් තරග දෙකක් මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කර එම තරග දෙකම ජයග්‍රහණය කර තිබෙන නිසයි.

වැඩි අවධානයට

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ තරග දෙකකට මුහුණ දී එක් තරගය බැගින් ජයගෙන තිබෙන නිසා මේ තරගය ජය ගැනීම දෙපිලටම වැදගත් වන්නේ, මේ තරගය පරාජය වන කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා යාමට තිබෙන සම්භාවිතාව අවම වන නිසයි.

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 16ක් දැනට ක්‍රීඩා කර තිබෙන අතර එහි වැඩි වාසිය දිනාගෙන තිබෙන්නේ තරග 10ක් ජයගෙන තිබෙන දකුණු අප්‍රිකාවයි.

තවද, පසුගිය දා නිමා වුනු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ද දකුණු අප්‍රිකාව සමත් වුනා.

තීරණාත්මක ක්‍රීඩකයින්

Tabraiz Shamsi සහ Keshav Maharajගේ දඟපන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දුර්වල පිතිකරණ විලාසයක් පෙන්නුම් කළ නිසා දකුණු අප්‍රිකානු දඟපන්දු යවන්නන් හමුවේ ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වීමට ශ්‍රී ලංකා පිතිකරුවන් වැඩි අවධානයක් දිය යුතු වෙනවා.

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් නිමා වූ තරගයේ දී යම් මට්ටමකින් ලකුණු අතරට පිවිසීම ශ්‍රී ලංකාවට අස්වැසිල්ලක් වී තිබෙන අතර කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ භානුක රාජපක්ෂ හට පිතිකරණයෙන් වැඩි දායකත්වයක් දැක්වීම අවශ්‍ය වෙනවා.

කණ්ඩායම් දෙකම මැද පන්දුවාර කිහිපය තුල ලකුණු ලබා ගැනීම සඳහා දුර්වලතාවයක් පෙන්නුම් කරන අතර වනිඳු හසරංග සහ Aiden Markam යන ක්‍රීඩකයින් පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන් කණ්ඩායම් දෙක සමබර කිරීම සඳහා විශාල සවියක් වනු නිසැකයි.

Quinton de Kock පුද්ගලික හේතුවක් මත කොදෙව්වන් සමඟ පැවති තරගයට සහභාගී නොවූ නමුත්, ඔහු ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙනවා.

මුහුණ දුන් අවසන් තරග දෙකේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් යම් ප්‍රහාරයකට ලක්වුණු නිසා ඔවුන් මේ තරගයේ දී ඉතාමත් හොඳ ස්ථානවල පන්දුව පතිත කරමින් අඩු ලකුණු මට්ටමකට දකුණු අප්‍රිකානුවන් සීමා කිරීමට සහාය වීම වැදගත් වෙනවා.

අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව – කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දසුන් ශානක (නායක), දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර.

දකුණු අප්‍රිකාව – Temba Bavuma (capt), Quinton de Kock (wk), Reeza Hendricks, Aiden Markam, Rassie van der Dussen, David Miller, Dwaine Pretorius, Kagiso Rabada, Keshav Maharaj, Anrich Nortje, Tabraiz Shamsi

තණතීරුව සහ ස්වභාවය

සාජා තණතීරුව පිතිකරුවන් සඳහා යම් සහයක් දැක්වීමට හැකි තණතීරුවක් වන නිසා පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායම ලකුණු 160-180ක ප්‍රමාණයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.

එසේම මේ තරගය දිවා තරගයක් වන නිසා පින්නෙන් විශාල ගැටලුවක් නොමැති නමුත් කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම පළමුව පන්දු යැවීමට වැඩි ඉඩක් තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග ප්‍රතිඵල දෙස බැලූ විට ද, ඉන් බහුතරයක් ජයගෙන තිබෙන්නේ දෙවනුව පන්දුවට පහර දී ලකුණු හඹා ගිය කණ්ඩායම් වෙනවා.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන මේ තීරණාත්මක තරගය අද (30) සවස 3.30ට (ශ්‍රී ලංකා වේලාවෙන්) ආරම්භ වන අතර එම තරගයේ සියලු තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සියලු තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<