ඇඹුල්දෙනිය නිසා ශ්‍රී ලංකා බලාපොරොත්තු තවදුරටත් සුරැකේ!

1000

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොඳින් දක්ෂතා අතරට පැමිණි තරගයේ මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වූ බැවින් තරගයේ වැඩි වාසි තමන් සතුකර ගන්නට අද (14) දකුණු අප්‍රිකානුවන් සමත් විය. මේ වන විට ජයග්‍රහණය ශ්‍රී ලංකා පිළෙන් හැකිතාක් ඈත් කිරීමට උත්සාහ දරන ඔවුන් කඩුලු 6ක් අතැතිව ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට වඩා ලකුණු 170ක ඉදිරියක් ලබා සිටියි.

ශ්‍රී ලංකාවට යම් තරමක හෝ බලාපොරොත්තුවක් ඉතිරි කර දුන් ලසිත් ඇඹුල්දෙනිය අද පිත්තෙන් ලකුණු 24ක් රැස් කරමින් දෙවැනි ඉනිමේ ප්‍රතිවාදී කඩුලු 2ක් බිඳ හෙළීමට ද සමත් විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දකුණු අප්‍රිකානුවන් මවිත කරති!

වේගපන්දු යවන්නන් දැක්වූ සුපිරි දක්ෂතාත්, මුල්පෙළ පිතිකරුවන්ගේ විශ්වාසනීය පිතිහරඹයත් නිසා පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරවය……

අද තරගය ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 49ක් ලබා සිටි ශ්‍රී ලංකාවට මිනිත්තු 10ක් ගත වන්නට පෙරම ඉතාමත් අමිහිරි සිදුවීමකට මුහුණ දෙන්නට සිදු විය. ඩේල් ස්ටේන් යැවූ පන්දුවක් මංගල තරගයට ක්‍රීඩා කරන ඕෂධගේ පා ආවරණයේ දැවටීමත් සමඟ ඔවුන් කඩුල්ල මුවා කිරීම වෙනුවෙන් ඉල්ලීමක් කළ අතර විනිසුරු අලීම් ඩාර් ක්ෂණිකව එය දැවී යාමක් ලෙස සටහන් කළේය. නමුත් එය බැලූ බැල්මටම පා ඉන්න හැර යන පන්දුවක් බව පෙනෙන්නට තිබුණි. එබැවින් මෙම තීරණයට එරෙහිව DRS අවස්ථාවක් ලබාගත යුතු දැයි ඕෂධ අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් තම නායකයාගෙන් විමසා සිටියේය.

නමුත් දිමුත් ඒ සඳහා උනන්දුවක් නොදැක්වූ නිසා ස්වකීය දක්ෂතා මගින් කණ්ඩායමේ ස්ථානයක් දිනාගෙන, ප්‍රබල පන්දු බල ඇණියකට එරෙහිව නිර්භයව පිත්ත හසුරුවමින් සිටි ඕෂධගේ මංගල ටෙස්ට් ඉනිම නිමාවට පත්විය. ඒ වන විට ඔහු හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා සිටියේය. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් වැඩි වේලාවක් යන්නට පෙර නායක දිමුත් කරුණාරත්න ද දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනි. දිමුත් මෙම තීරණයට එරෙහිව DRS අවස්ථාව ලබා ගත්ත ද එය On-field call එකක් ලෙස සටහන් වූ නිසා ඔහුට ද සිදු වූයේ පිටිය හැර යන්නටයි. ඒ වන විට දිමුත් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියේය.

Photos: Sri Lanka tour of South Africa 2019 | 1st Test – Day 2

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමේ වගකීම මැදපෙළ වෙත පැවරුණු අතර ලොව හොඳම වේගපන්දු යවන්නන් සමූහයකට එරෙහිව ආරක්ෂාකාරී පිළිවෙතක් ඔවුන් අනුගමනය කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය. නමුත් ඊට හාත්පසින්ම වෙනස් ක්‍රීඩා රටාවක් අනුගමනය කළ කුසල් මෙන්ඩිස් (12) සහ නිරෝෂන් දික්වැල්ල (08) දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ව අවතක්සේරු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කඩුලු අහිමි කර ගත්හ. විශේෂයෙන්ම පසුගිය ටෙස්ට් තරගාවලියේ දී පාකිස්තානුවන් මට්ටු කළ ඔලිවියර්ගේ කෙටි පන්දුව ගැන නොදැන සිටි දික්වැල්ල අද එල්ල කළ පහර ශ්‍රී ලංකා ඉනිම කබලෙන් ලිපට ඇද දැමීමට හේතු වූ බව කිය යුතුය.

ඉන් අනතුරුව කුසල් පෙරේරා සහ ධනංජය සිල්වා අතරේ කුඩා ලකුණු සබඳතාවයක් වර්ධනය වුවද දිවා විවේකය වනතුරු එම වාසිය රඳවා ගැනීමට ඔවුන් අපොහොසත් වූහ. ඒ තරගය තාවකාලිකව නතර කිරීමට පන්දු දෙකක් ඉතිරිව තිබිය දී ධනංජය ද සිල්වා තම කඩුල්ල ප්‍රතිවාදීන්ට බන්දේසියක තබා පිලි ගැන්වීම නිසයි. තණතිල්ලේ මැද කෙටී ඉහළ ආ කෙටි පන්දුව අවස්ථාව අනුව නිදැල්ලේ හරිනු වෙනුවට අනවශ්‍ය පුල් පහරකට යොමු වීම ධනංජයගේ ඉනිම ලකුණු 23කට සීමා කිරීමට හේතු විය. පිතිකරණය වෙනුවෙන්ම කණ්ඩායමට ඇතුළත් කර ඇති ක්‍රීඩකයින් මෙලෙස හැසිරෙද්දී ලකුණු රැස් කරන්නේ පන්දු යවන්නන් ද යන ගැටලුව පැන නගියි.

අලුත් තුරුම්පුවල වැඩ පෙන්වන පළමු තරගය

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පුරා මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පළමු……

තේ විවේකයෙන් අනතුරුව කුසල් පෙරේරා තම ටෙස්ට් දිවියේ සිව්වැනි අර්ධ ශතකය වාර්තා කර ගන්නට සමත් විය. නමුත් ඔහුගෙන් ශ්‍රී ලංකා පිළ තවත් බොහෝ දේ බලාපොරොත්තු වුවද ස්ටේන්ට එරෙහිව වැරෙන් පහරක් එල්ල කරන්නට යාමේ ප්‍රතිඵලයක් ලෙස කඩුල්ල අහිමි කර ගත්තේය. විශේෂයෙන්ම ලසිත් ඇඹුල්දෙනියට සහ කසුන් රාජිතට යම් පිතිකරණ හැකියාවක් ඇති නිසා ඔවුන් සමඟ සබඳතා ගොඩ නගනු හැරෙන්නට මෙවන් අනවශ්‍ය කලබලයක් කිසිවෙකු බලාපොරොත්තු නොවුන ද කුසල් තෝරා ගත්තේ වැරදි මාවතයි. කුසල් රැස් කර ගත් ලකුණු 51කට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

පිතිකරුවන් අසමත් වූ නිසා ලකුණු පරතරය අවම කර ගැනීමේ වගකීම පසුපෙළ සිටි පන්දු යවන්නන් වෙත පැවරුණු අතර ඔවුහු එය හැකි උපරිමයෙන් ඉටු කළහ. විශේෂයෙන්ම දකුණු අප්‍රිකානු තණතිලි ගැන හරිහැටි නොදත් ලසිත් ඇඹුල්දෙනිය කෙටි පන්දු රැසක් නිදැල්ලේ හරින්නට ගොස් ඒවා ශරීරයේ වද්දා ගත්තේ කෙසේ හෝ කඩුල්ලේ රැඳී සිට එක් ලකුණ බැගින් හෝ තම මව්රට වෙනුවෙන් රැස් කර ගැනීමේ අධිෂ්ඨානයෙනි. කාලය ගතවත්ම ඔහු පන්දුව හොඳින් අධ්‍යයනය කොට පහර දීමට සමත් වූ අතර කසුන් රාජිත සමඟ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32ක සබඳතාවයක් ද ගොඩ නැගීය. ඒ ක්‍රීඩාගාරයේ විවේක සුවයෙන් පසුවන මුල්පෙළ පිතිකරුවන්ට පිතිකරණ පාඩමක් කියා දෙමිනි.

ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා වන රබාඩා, හිටපු අංක එකේ පන්දු යවන්නෙකු වන ස්ටේන් ඉදිරියේ පන්දු 63කට ක්‍රීඩා කළ ඇඹුල්දෙනිය අද ලකුණු 24ක් රැස්කර ගත්තේ හතරේ පහර 4ක් සමඟයි. කසුන් රාජිත ද සටන අත් නොහරිමින් ලකුණු 12ක් ලබා ගත්තේ පන්දු 30කට මුහුණ දෙමිනි. ඔහු දැවී ගියේ ඒඩන් මාක්‍රම්ගේ සුපිරි පන්දු රැකීමක් නිසාවෙනි. ඇත්තෙන්ම දකුණු අප්‍රිකාවේ අනෙකුත් තණතිලි හා සැසඳූ විට මෙම ඩර්බන් තණතිල්ල තරමක් මන්දගාමී එකක් වන නිසා මෙහි ලකුණු රැස් කිරීමට අසමත් වීම ගැන පිතිකරුවන් කනගාටු විය යුතු බව අපගේ හැඟීමයි. එය නිසි ආකාරයෙන් ඉටු නොවීම නිසා අද ශ්‍රී ලංකා ඉනිම ලකුණු 191කට නිමා වූයේ ලකුණු 44ක හිඟයක් ද සහිතවයි.

විසිහය වසරකට පෙර මෙරටටම පැමිණ අප අසරණ කළ දකුණු අප්‍රිකානුවෝ

2019 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය හෙට (13) ඩර්බන් නුවර කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි…….

පිතිකරුවන් තම වගකීම හරිහැටි ඉටු නොකිරීමේ බරපතළකම වැටහුණේ දකුණු අප්‍රිකානු ඉනිම ඇරඹීමෙන් පසුවයි. ඒ දිනය නිමා වන විට ඔවුන්ගේ කඩුලු 4ක් ලකුණු 126ක් තුල දී බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ක්‍රියා කළ නිසාවෙනි. යම් හෙයකින් ශ්‍රී ලංකා පිතිකරුවන් මීට වඩා වගකීමක් සහිතව ක්‍රීඩා කළා නම් ඔවුන්ට දකුණු අප්‍රිකානු පළමු ඉනිම අභිබවා යමින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන ලකුණු ගණන අවම කර ගන්නට තිබුණි. එසේ නම් මේ වන විටත් තරගයේ ග්‍රහණය පවතින්නේ ශ්‍රී ලංකා පිළ සතුවයි. අද බිඳ වැටුණු කඩුලු 4න් දෙකක් ලසිත් ඇඹුල්දෙනියට හිමි වෙද්දී ඉතිරි කඩුලු දෙක කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු අතරේ බෙදී ගියේය.

මේ වන විට පිටියේ රැඳී සිටින්නේ දකුණු අප්‍රිකානු ඉනිමේ අවසන් පිතිකරණ යුගලය වන නිසා ශ්‍රී ලංකාව තවමත් ජයග්‍රහණ බලාපොරොත්තු අත්හැර ගත යුතු නැත. නමුත් හෙට උදෑසනින්ම ප්ලෙසිස් සහ ඩි කොක් අතරේ ගොඩ නැගී ඇති ලකුණු 31ක සබඳතාවය බිඳ දමා ප්‍රතිවාදීන්ගේ පසුපෙළ විවර කර ගැනීමට ඔවුන් උත්සාහ දැරිය යුතුය. එතකින් නොනැවතී මුල් ඉනිමේ සිදු වූ වැරදි අඩුපාඩු හදා ගනිමින් දකුණු අප්‍රිකානුවන් ලබාදෙන ඉලක්කය හඹා යෑමට ද ඔවුන්ට සිදු වනු ඇත. ඒ දකුණු අප්‍රිකානු දේශයේ දීම ඔවුන්ව පරාජය කිරීම “යකාගේ කටින් යතුර ගැනීමකට” සමාන වන නිසාවෙනි.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 59.4)

ක්වින්ටන් ඩි කොක් 80, ටෙම්බා බවුමා 47, ෆැෆ් ඩු ප්ලෙසිස් 35, කේශව් මහරාජ් 29, ඩේල් ස්ටේන් 15, ඒඩන් මාර්ක්‍රම් 11, විශ්ව ප්‍රනාන්දු 4/62, කසුන් රාජිත 3/68, සුරංග ලක්මාල් 1/29.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 191 (පන්දුවාර 59.2)

කුසල් පෙරේරා 51, දිමුත් කරුණාරත්න 30, ලසිත් ඇඹුල්දෙනිය 24, ධනංජය ද සිල්වා 23, ඕෂධ ප්‍රනාන්දු 19, කුසල් මෙන්ඩිස් 12, ඩේල් ස්ටේන් 4/48, වර්නන් ෆිලැන්ඩර් 2/32, කාගිසෝ රබාඩා 2/48, ඩුවාන් ඔලිවියර් 1/36.

දකුණු අප්‍රිකා (දෙවැනි ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 126 (පන්දුවාර 37)

ඩීන් එල්ගාර් 35, ඒඩන් මාර්ක්‍රම් 28, ෆැෆ් ඩු ප්ලෙසිස් 25*, හෂීම් අම්ලා 16, ක්වින්ටන් ඩි කොක් 15*, ලසිත් ඇඹුල්දෙනිය 2/36, කසුන් රාජිත 1/31, විශ්ව ප්‍රනාන්දු 1/32.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<