මහරාජ්ගේ වාර්තාගත කඩුලු ත්‍රිත්වයෙන් දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

112
Cricket South Africa Facebook

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ දෙවැනි තරගය ද ලකුණු 158කින් ජය ගත් දකුණු අප්‍රිකානුවන් 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට අද (22) සමත් වුනා. 

ඒ අනුව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ද ඔවුන්ට හැකියාව ලැබුණා.

මේ තරගයේ දී දකුණු අප්‍රිකානු දඟපන්දු යවන ක්‍රීඩක Keshav Maharaj 2019-21 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පළමු දඟපන්දු යවන්නා වූයේ දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එවැනි දස්කමක් දැක්වූ දෙවැනි ක්‍රීඩකයා සහ පළමු දඟපන්දු යවන්නා වෙමින්. 

මීට පෙර දකුණු අප්‍රිකාව වෙනුවෙන් එවැනි දස්කමක් දක්වා තිබුණේ Geoff Griffin පමණක් වුනු අතර ඔහු 1960 වසරේ පැවති තරගයක දී එංගලන්තයට එරෙහිව එම දස්කම ප්‍රදර්ශනය කළා.

තවත් ක්‍රිකට් පුවත්:

St Lucia හි පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් කණ්ඩායම පළමු පන්දුවට පහර දීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කර සිටි අතර එහි දී ඔවුන් සියල්ලන්ම දැවී ලකුණු 298ක් ලබා ගැනීමට සමත් වුනා. 

එහි දී ලකුණු 37කට කඩුලු 3ක් දැවී ගොස් තිබුණු දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැංවීම වෙනුවෙන් නායක Dean Elgar ලබා ගත් ලකුණු 77 සහ කඩුලු රකින පිතිකරු Quinton de Kock ලබා ගත් ලකුණු 96 විශාල සවියක් වුනා. 

එහි දී ඔවුන් දෙදෙනා පිළිවෙළින් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 17 වැනි සහ 22 වැනි අර්ධ ශතක ලබා ගත්තා. පන්දු යැවීමේ දී Kyle Mayers සහ Kemar Roach අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

ඊට පිළිතුරු දීම වෙනුවෙන් පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 149ක් පමණයි. Jermaine Blackwood සහ Shai Hope ලබා ගත් ලකුණු ප්‍රමාණය හැරෙන්නට අනෙක් එකඳු කොදෙව් පිතිකරුවෙකුට හෝ වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට Wiaan Mulder සහ  Kagiso Rabada ඇතුළු දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ලකුණු 149ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන් සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 174ක් ලබාගෙන කොදෙව්වන්ට සිව්වැනි ඉනිම සඳහා ලකුණු 324ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන් අතර එහි දී කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 165කට සීමා වුනා. 

එම ඉනිම සුන් කර දැමීම සඳහා පෙරමුණ ගත් Keshav Maharaj පළමු ඉනිමේ ලබා ගත් කඩුලු දෙකට අමතරව දෙවැනි ඉනිමේ කඩුලු 5ක් දවා ගත්තේ කඩුලු ත්‍රිත්වයක් ද සම්පූර්ණ කරගෙනයි.

කෙසේ නමුත් තරගයේ වීරයා සම්මානය හිමි වුනේ පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන් ද දස්කම් අතරට පැමිණි Kagiso Rabada වෙතයි. ඒ අනුව 2017 වර්ෂයට පසුව සිය මව් රටෙන් එපිට දී ටෙස්ට් තරගාවලියක් ජය ගත් දකුණු අප්‍රිකානුවන් Sir Vivian Richards කුසලානය නැවත වරක් තමන් සතු ව රඳවා ගැනීමට සමත් වුනා.

කොදෙව්වන් අභිබවා දකුණු අප්‍රිකාව මේ තරගය සහ තරගාවලිය ජය ගැනීම නිසා 2019-21 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව 8වන ස්ථානයේ පසුවුණු ශ්‍රී ලංකාවට 7 වන ස්ථාන දක්වා එක ස්ථානයක් ඉදිරියට පැමිණීමට අවස්ථාව ලැබී තිබෙනවා. තවද මේ තරගාවලියේ අවසන් මහා තරගය හැර අනෙක් තරග සියල්ලම මේ වන විට අවසන් වී තිබෙන නිසා ශ්‍රී ලංකාවට එහි හිමි නිත්‍ය ස්ථානය මෙය වනු ඇත.

  • තරගයේ වීරයා – Kagiso Rabada (දකුණු අප්‍රිකාව)
  • තරගාවලියේ වීරයා – Quinton de Kock (දකුණු අප්‍රිකාව)

දකුණු අප්‍රිකාව පළමු ඉනිම – 298: Quinton de Kock 96, Dean Elgar 77, Kyle Mayers 3/28, Kemar Roach 3/45.

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම – 149: Jermaine Blackwood 49, Shai Hope 43, Wiaan Mulder 3/01, Kagiso Rabada 2/24.

දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම – 174: Rassie van der Dussen 75*, Kemar Roach 4/52, Kyle Mayers 3/24.

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම – 165: Kieran Powell 51, Keshav Maharaj 5/36, Kagiso Rabada 3/44.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<