කොළඹ ක්‍රීඩකයන්ට ඉන්දියානු වීසා

1044
Rawme, Channa in as Colombo FC

ඒ.එෆ්.සී. කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේදී, ඉන්දියානු මෝහන් බගාන් පාපන්දු කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන අදියරේ තරගය සඳහා සහභාගී වන කොළඹ පාපන්දු සමාජයට සැනසුම් සුසුමක් ගෙන එන පුවතක් වාර්තා වේ. කණ්ඩායමේ සිටින විදෙස් ක්‍රීඩකයින් තිදෙනාටම ඉන්දියානු වීසා පහසුකම් ලබා දී ඇති අතර ඔවුන්ගේ මීළඟ අභියෝගය වන්නේ තරගය පැවැත්වීමට පැය 24කට පමණ පෙරාතුව කණ්ඩායමේ සංයුතියට අදාළ වෙනස්කම් සපුරාගැනීමයි.

කොළඹ අභියෝගය මැද මෝහන් බගාන්ට පළමු අදියරේ ජය

ඒ.එෆ්.සී. කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා, අදියර දෙකකින් යුත් පූර්ව වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමත් ඉන්දියාවේ මෝහන් බගාන් පාපන්දු කණ්ඩායමත්…

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් තරගයට දින 3කට පෙරාතුව කොළඹ කණ්ඩායම වෙත කම්පා සහගත අත්දැකීමක් ලබා දෙමින් කියා සිටියේ කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් තිදෙනාට වීසා පහසුකම් සැපයිය නොහැකි බවයි.

පෙබරවාරි 05 වැනිදා ඉන්දියාව බලා පිටත් වූ කණ්ඩායමේ එකම බලාපොරොත්තුව වූයේ අඩුම තරමින් තම මැදපෙළ ක්‍රීඩක මොමාස් යාපෝට හෝ වීසා ලබාදෙනු ඇතිද යන්නයි.

“අද (සඳුදා) මොමාස් යාපෝට වීසා ලැබුණා.” කොළඹ පාපන්දු සමාජයේ හිමිකරු, සයිෆ් යූසුෆ් මහතා ThePapare.com සමඟින් පවසා සිටියේය.

ඉන් මොහොතකට පසුව වාර්තා වූයේ අනෙකුත් විදෙස් ක්‍රීඩකයන් තිදෙනාටත් වීසා බලපත්‍ර ලැබී ඇති බවයි.

“ඔවුන් මට හැමෝගෙම වීසා ලබා දුන්නා” යූසුෆ් මහතා උද්යෝගිමත්ව පැවසුවේය.

“හෙට තමයි (තරගය පැවැත්වෙන දිනය) අපි පිටත්වෙන්නේ. තරගයට පැය කිහිපයකට කලින් තමයි අපි ඉන්දියාවට ගොඩබහින්නේ.” ඔහු පැවසීය.

“ක්‍රීඩකයන් මා සමඟ පාන්දර 3.30ට ගුවන් යානයෙන් බැංගලෝර් හරහා කල්කටාවට ලඟාවෙද්දී උදේ 11.00 පමණ වේවි. තරගය තියෙන්නේ එදා සවසයි.” ඔහු තවදුරටත් පැවසුවේය.

සවස 7.00ට ආරම්භ වන තරගයට පෙර අදාළ ක්‍රීඩකයන්ට ලැබෙනු ඇත්තේ පැය 4ක 5ක පමණ විවේකයකි.

“තරගයට පැය කිහිපයකට පෙර ඉන්දියාවට පැමිණෙන නිසා මට ඔවුන්ගේ (විදෙස් ක්‍රීඩකයන් තිදෙනා) ශාරීරික යෝග්‍යතාවය පරික්ෂා කරන්නට සිදුවේවි.” පුහුණුකරු මොහොමඩ් රූමි කියා සිටියේය.

නායක රෝමි මොහිදීන් ආරම්භක ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් වීම නිසා, අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුව ඇති මෙම තරගයේදී කොළඹ කණ්ඩායමට උත්තේජනයක් ලැබෙනු ඇත. ප්‍රථම අදියරේදී, රෝමි කණ්ඩායමට ඇතුළත් නොවූයේ ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේදී ඔහුගේ කොන්දේ ආබාධයක් ඇතිවූ බැවිනි.

ප්‍රථම අදියරේදී රෝමිගේ ස්ථානයේ ක්‍රීඩා කළ ආරක්ෂක මැදපෙළ ක්‍රීඩක මොහොමඩ් රමීස්ට වඩා ආක්‍රමණකාරී ක්‍රීඩා රටාවක් පුහුණුකරු රූමි හට රෝමිගෙන් අවශ්‍යව ඇත.

මෙවර ආරම්භක ක්‍රීඩක ලැයිස්තුවට ඊ.බී. චන්නද ඇතුළත් වන අතර වර්ෂ 2002/2003 තරග වාරයේදී ඉන්දියානු ඩෙම්පෝ කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහුගේ සියළු අත්දැකීම්, ඉන්දියානුවන්ට එරෙහිව මෙම තරගයේදී කණ්ඩායමට වැදගත් වේ.

“ඉන්දියානු විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ක්‍රීඩා කළ අත්දැකීම චන්නට තිබෙනවා. මේ තරගය සඳහා විශාල ප්‍රේක්ෂක ජනකායක් රැස්වේවි. චන්නට අත්දැකීම් ඇති නිසා සහ පීඩනයක් යටතේ ක්‍රීඩා කිරීමට ඇති හැකියාව නිසා ඔහු හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.” මොහොමඩ් රූමි, ThePapare.com සමඟින් පැවසුවේ බලාපොරොත්තු සහගතවයි.

“තරගාවලියේ ඉදිරියට යාම සඳහා අපට ගෝල අවශ්‍යයි. මුල් භාගයේදී අප ගෝල ලබා ගැනීමට උත්සාහ කළ යුතුයි. ඒ කියන්නේ මිනිත්තු 25ක් ඇතුළත වගේ. ආක්‍රමණය තමයි එකම විකල්පය. අපි ලෑස්තියි පිටයි ඉන්නේ.ඒ වගේම අපි විශ්වාසයෙන් ක්‍රීඩා කරන්නේ. ජයග්‍රහණය ලබා ගැනීම සඳහා අපි ධනාත්මකව ඉන්නවා.” තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී රූමි එසේ පැවසුවේය.

කොළඹ පාපන්දු සමාජය – (උපකල්පිත 4-2-3-1 පෙළගැස්ම.)

මොහොමඩ් ඉම්රාන්, නසිරු ඔපායෙමි, අෆීල් මොහොමඩ්, චරිත රත්නායක, චලන චමීර, රෝමි මොහිදීන්, මොමාස් යාපෝ, ඊ.බී. චන්න, සර්වාන් ජොහාර්, නාගුර් මීරා, අෆීස් ඔලායෙමි.

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට