ඩෙන්මාර්කය සහ එංගලන්තය අවසන් පූර්ව වටයට

Euro 2020

208

යුරෝපා පාපන්දු පිටියේ වත්මන් ශූරයන් සොයා යන “Euro 2020” පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරග ද්විත්වය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (03) රාත්‍රියේ සහ අද (04) උදෑසන පැවැත්වුනා.

එම තරගවලින් චෙක් ජනරජය සහ යුක්‍රේනය පරදවමින් දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා අසුන් වෙන් කරවා ගැනීමට ඩෙන්මාර්කය සහ එංගලන්තයට හැකි වුනා.

Czech Republic v Denmark

Baku හී ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් චෙක් ජනරජ කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කරන්නට ඩෙන්මාර්ක් ක්‍රීඩකයන්ට හැකි වුනා.

තරගාවලියේ සහභාගී වූ අවසන් තරග කිහිපයෙහි පෙරළිකාර සටන් විලාශයක් පෙන්නුම් කළ ඩෙන්මාර්කය මෙම තරගයේ ද ආරම්භයේ සිටම ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් දෙමින් පළමු ගෝලය රැස් කිරීමට සමත් වුනේ 5 වැනි මිනිත්තුවේ දීයි.

පැතිපහර අවස්ථාවක් මගින් Stryger Larsen යොමු කළ පන්දුවට දඬුවම් සීමාවේ මධ්‍යයේ සිට හිසින් වේගවත් පහරක් එල්ල කරමින් ගෝලයේ වම් කෙළවරින් දැල වෙත ප්‍රතිවාදී ගෝල රකින්නා පසු කරමින් යොමු කිරීමට Thomas Delaney සමත් වුනා.

එම ගෝලයෙන් පසු තවත් ගෝල ලබාගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ඩෙන්මාර්ක් ක්‍රීඩකයන්ට මගහැරී ගිය නමුත් එම අර්ධයේ දී ම ඔවුන් වෙනුවෙන් දෙවැනි ගෝලය රැස් කරමින් තරගයේ වැඩි ගෞරව සිය කණ්ඩායමට ලබා දීමට Kasper Dolbergට හැකි වුනා.

42 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවේ වම් රේඛාව අසල සිට Joakim Maehle යොමු කළ පන්දුවක් ගෝලය ආසන්නයේ සිට ගෝලය වෙත එල්ල කිරීමට Dolberg සමත් වුනේ එය නවතාලීමට ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් ඉඩ නොදෙමිනි.

තරගය පුරාවටම ප්‍රබල ක්‍රීඩා විශාලයක් පෙන්නුම් කළ ඩෙන්මාර්කයට අභියෝගයක් එල්ල කර ගෝල ලබා ගැනීමේ අරමුණින් දෙවන අර්ධයට පිවිසි චෙක් ජනරජය වෙනුවෙන් 49 වැනි මිනිත්තුවේ දී ගෝලයක් රැස් කරමින් නැවත තරගයේ දොරගුළු විවර කරදීමට Patrik Schickට හැකි වුනා.

Vladimir Coufal විසින් දඬුවම් රාමුවට මදක් එපිට සිට දඬුවම් රාමුව තුළට යොමු කළ පන්දුවක් පළමු අවස්ථාවේ දී ම ඩෙන්මාර්ක් පසුපෙළ ක්‍රීඩකයා සහ ගෝල රකින්නා පසු කර ගෝලය වෙත එල්ල කරමින් තරගාවලියේ වැඩිම ගෝල ලබා ගත් Cristiano Ronaldo සම කිරීමට ඔහු සමත් වුනා (ගෝල 5). 

නමුත් එම ගෝලයෙන් පසු තවත් කිසිදු ගෝලයක් ලබා ගැනීමට චෙක් ජනරජ ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසා ගෝල 2-1ක් ලෙස තරගයේ ජය ඩෙන්මාර්කයට හිමි වුනා. ඒ අනුව ඩෙන්මාර්කය අවසන් පූර්ව වටයේ දී ප්‍රබල එංගලන්තය සමඟින් තරග වැදීමට නියමිතව ඇත.

අවසන් ලකුණු තත්වය: ඩෙන්මාර්කය 2 –1 චෙක් ජනරජය 

ගෝල ලාභීන්: 

  • ඩෙන්මාර්කය: Thomas Delaney 5’, Kasper Dolberg 42’
  • චෙක් ජනරජය: Patrik Schick 49’

Ukraine v England

අර්ධ අවසන් පූර්ව වටයෙහි අවසන් තරගය වූ මෙම තරගයෙන් යුක්‍රේනය පරදවා ගෝල 4-0 පහසු ජයක් ලබා ගැනීමට ප්‍රබල එංගලන්ත ක්‍රීඩකයන්ට හැකි වුනා.

රෝමයේ Stadio Olimpico ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ 4 වැනි මිනිත්තුවේ දී ම පළමුවැනි ගෝලය රැස් කරමින් යුක්‍රේනයට දැඩි පීඩනයක් ගෙන ඒමට එංගලන්ත නායක Harry Kane සමත් වුනා.

Raheem Sterling විසින් දඬුවම් රාමුව තුළට යොමු කළ පන්දුවක් යුක්‍රේන ගෝල රකින්නා මගහැර පාදයෙන් ගෝලයේ වම් කෙළවරට එල්ල කරමින් සිය කණ්ඩායමට අවශ්‍ය වූ ආරම්භය ගෙන දීමට Harry Kaneට හැකි වුනා.

එම අර්ධය තුළ දී යුක්‍රේන ක්‍රීඩක Roman Yaremchuk එල්ල කළ පහරක් සාර්ථකව වළක්වන්නට එංගලන්ත ගෝල රකින ක්‍රීඩක Jordan Pickford සමත් වීම නිසා පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස එංගලන්තයට පෙරමුණ ගෙන දෙමින් අවසන් වුනා.

දෙවැනි අර්ධය ආරම්භයේ දී යුක්‍රේන ක්‍රීඩකයන්ගේ පීඩනය තවත් වැඩි කරමින් සිය කණ්ඩායමට දෙවැනි ගෝලය රැස් කරදීමට එංගලන්ත ක්‍රීඩක Harry Maguire සමත් වුනේ තරගයේ 46 වැනි මිනිත්තුවේ දීයි.

නිදහස් පහර අවස්ථාවක් මගින් Luke Shaw විසින් දඬුවම් රාමුව තුළට එල්ල කළ පන්දුවක් ගෝල රාමුවට ඉතා ආසන්නයෙහි සිට හිසින් ගෝලයේ වම් කෙළවරින් දැල තුළට යොමු කර තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ගෙන දීමට Maguireට හැකි වුනා.

එම ගෝලයෙන් සුළු වේලාවකට පසු එනම් තරගයේ 50 වැනි මිනිත්තුවේ දී Luke Shaw ලබා දුන් පන්දුවකට හිසින් පහරක් එල්ල කරමින් යුක්‍රේන ගෝල රකින්නාගේ පාද අතරින් ගෝලයට යොමු කර දිනයේ දෙවැනි ගෝලය රැස් කිරීමට Harry Kane සමත් වුනා.

යුක්‍රේන ක්‍රීඩකයන්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් Mason Mount පැති පහර අවස්ථාවක් මගින් ලබා දුන් පන්දුවක් හිසින් ගෝලයේ දැල තුළට එල්ල කරමින් සිව්වැනි ගෝලය රැස් කිරීමට එංගලන්ත ක්‍රීඩක Jordan Hendersonට හැකි වුනේ තරගයේ 63 වැනි මිනිත්තුවේ දීයි.

තරගයේ සම්පූර්ණ කාලය අවසන් වන තුරුම කිසිදු ගෝලයක් රැස් කිරීමට යුක්‍රේනයට හැකි වුනේ නැහැ.

ඒ අනුව තරගාවලිය පුරාවටම ප්‍රබල දස්කම් දැක්වීමට සමත් වූ එංගලන්තය යුරෝපා කුසලානයට තවත් ලංවෙමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූ අතර අවසන් පූර්ව වටයේ දී ඔවුන් පෙරළිකාර ඩෙන්මාර්කය සමඟින් තරග වැදීමට නියමිතව ඇත.

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 4 –0 යුක්‍රේනය  

ගෝල ලාභීන්: 

  • එංගලන්තය: Harry Kane 4’ & 50’, Harry Maguire 46’, Jordan Henderson 63’

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග මෙම මස 7 වැනිදා සහ 08 වැනිදා එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. එම තරගවල තොරතුරු සඳහාත් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

 පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<