රග්බි පුහුණුකරු ගෙදර යවයි

121

ශ්‍රී ලංකා ජාතික රග්බි පුහුණුකරු වන නවසීලන්ත ජාතික මැට් ලී මහතාගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය තීරණය කර තිබේ. ඒ මහතා නුදුරේ දී ම නවසීලන්තය වෙත යාමට නියමිත අතර මෙරට ගුවන් ගමන් අත්හිටවා ඇති නිසා තවදුරටත් ඒ මහතා මෙරට රැඳී සිටී. 

>> පාසල් රග්බි ලීගය නැවත පැවැත්වෙයි ද?

මැට් ලී මහතා මෙරට රග්බි සම්මේලනය සමඟින් එළඹ තිබූ ගිවිසුම පසුගිය මාර්තු මාසයේ දී අවසන් වූ අතර රග්බි ජාතික කණ්ඩායමට ආසන්න කාලය තුල කිසිදු රග්බි ‍තරගාවලියක් නොමැති නිසා එම ධූර කාලය දීර්ඝ නොකිරීමට ජාතික රග්බි සම්මේලනය තීරණය කර ඇත.

මේ පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතා ජාතික පුවත්පතකට අදහස් දක්වමින් පවසා සිටියේ,

“ආසියානු තරගාවලිය දක්වා ඒ මහතාගේ සේවය දීර්ඝ කරන්න අපි සැලසුම් කරලා තිබුණා. කොරෝනා ප්‍රශ්නය නිසා තරගාවලි අවලංගු කිරීම නිසාවෙන් පුහුණුකරු තවදුරටත් තියා ගැනීමේ ප්‍රයෝජනයක් නැහැ. “

“පුහුණුකරු තියාගෙන ඔහුට වැටුප් ගෙවන්න හැකියාවක් නෑ. ඒ නිසා අපි කොන්ත්‍රාත්තුව දීර්ඝ කළේ නෑ. ගුවන් යානයක් ලැබුණු වහාම ඒ මහතා නවසීලන්තයට යාවි”.

ශ්‍රී ලංකා රග්බි ජාතික කණ්ඩායමේ හා සත් සාමාජික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මැට් ලී මීට වසරකට පෙර පත්විය.

ආසියානු 1 වන කාණ්ඩයේ රග්බි ශූරතාවලියට පෙර නවසීලන්ත ජාතික ලී ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙරටට පැමිණි අතර පසුව ඔහුට ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ වගකීම්ද භාර දෙන ලදී.

පසුව ඔහු මාර්තු මාසයේ අවසන් වූ 2019/20 ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙසද කටයුතු කලේය.

දශක දෙකකට පෙර ශ්‍රී ලංකාවේ රග්බි සමඟ එක්වූ මැට් ලී ප්‍රථමයෙන්ම එක්වූයේ CH&FC ක්‍රීඩා සාමාජය සමඟිනි. මැට් ලී දේශීය රග්බි පිටියේ ගතිකතාවයන් හොඳින් අවබෝධ කරගත් පුද්ගලයෙකි. ඔහු මෙරට රග්බි ක්‍රීඩාවේ සමීප පුහුණුකරුවෙකු ලෙස කටයුතු කලේය.

කෙසේ වෙතත්, ඔහුගේ මාස 12 ක කාලය තුල ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ අපේක්ෂාවන් ඉටුකිරීමට සමත්වූයේ නැත. 2018 දී වසා දමන ලද ජාතික කණ්ඩායමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමේදී මැට් ලී පෙරමුණ ගෙන සිටි අතර කණ්ඩායම ජයග්‍රහණය කළේ චීන තායිපේ කණ්ඩායමට එරෙහිව පමණි.

පසුව, සත් සාමාජික රග්බි කණ්ඩායම අතට ගත් මැට් ලී ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකාව ආසියානු සත් සාමාජික තරගාවලියේ සමස්ත ශ්‍රේණිගත කිරීම්වල 5 වන ස්ථානයට පත්විය. ඉන් අනතුරුව ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදීද ශ්‍රී ලංකාව 5 වන ස්ථානය දිනාගැනීමට සමත්විය.

මැට් ලීගේ ඉවත්වීමත් සමඟ ශ්‍රී ලංකාවට දැන් නව ජාතික කණ්ඩායමට හා සත් සාමාජික රග්බි කණ්ඩායමට පුහුණුකරුවෙකු සොයාගැනීම සඳහා විවරයක් ලැබී ඇත. එය ජාත්‍යන්තර දින දර්ශනය නැවත ආරම්භ වීමට පෙර පිරවිය යුතුව ඇත.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහභාගි වන ආසියානු කුසලාන පළමු කොටසේ රග්බි තරගාවලිය පසුගිය අප්‍රේල් මස 29 හා මැයි 2 යන දෙදින කොළඹ දී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි.

එහෙත් පවතින කොරෝනා අවදානම හමුවේ එම තරගාවලිය කල්දැමීමට තීරණය කළ අතර මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ ජාත්‍යන්තර තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<