ගුවන් හමුදාවට පහසු ජයක්, බදුරලියට දැවැන්ත ජයක්

233
U23 JULY 15 ROUND UP

අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහල එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවැත්වුණු තරග වලින් බදුරලිය කණ්ඩායම ලකුණු 254ක සහ ගුවන් හමුදාව කඩුලු 7ක පහසු ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

මග්ගොන සරේ ක්‍රීඩාංගනයේ පැවති බදුරලිය සහ කළුතර නාගරික කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ කළුතර කණ්ඩායමයි. ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට ගත් තීරණය ඔවුන්ටම පාරා වළල්ලක් බවට පත් කරමින් බදුරලිය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 289ක් රැස් කිරීමට සමත් විය.

සචින් හේවාවසම් ලකුණු 77ක් සමගින් බදුරලිය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙද්දී පැතුම් මධුශංක සහ කවිඳු මනම්පේරිද අර්ධ ශතක 2කින් තම කණ්ඩායම සවිමත් කරන ලදී. රුසිරු සහ ගයාන් කඩුලු 2 බැගින් දවා ගත්තත් බදුරලිය කණ්ඩායම දැවැන්ත ඉලක්කයක් පිහිටුවීම වලක්වන්නට එය ප්‍රමාණවත් නොවීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කළුතර නාගරික ක්‍රීඩකයන්, බදුරලිය පන්දු රකින්නන්ට දහදිය බින්දුවක් හෝ හෙලීමට ඉඩ නොදී තරගය අවසන් කරන්නට සමත් විය. ආරම්භක පන්දු යවන්නන් වූ රත්න යුගලය (චන්දුල වීරරත්න 6/19 සහ ආකාශ් සෙනෙවිරත්න 4/16) පන්දුවාර 11.4ක් තුළ කළුතර කණ්ඩායමේ කඩුලු 10ම තමන් අතරේ බෙදා ගන්නා ලදී. මේ ඉනිමේ කිසිදු පිතිකරුවෙක් අංක දෙකේ ලකුණු සංඛ්‍යාවක් වෙත යාමට අපොහොසත් විය.

ලකුණු පුවරුව

බදුරලිය 23න් පහළ කණ්ඩායම – 289/5 (50) – [සචින් හේවාවසම් – 77, පැතුම් මධුශංක – 57, කවිඳු මනම්පේරි – 51*, රුසිරු රවිශංඛ – 2/70, ගයාන් කනිෂ්ක – 2/68]

කළුතර නාගරික 23න් පහළ කණ්ඩායම – 35/ සියල්ලන් දැවී (11.4) [S. ආදිහෙට්ටි – 9, චන්දුල වීරරත්න – 6/19, ආකාශ් සෙනෙවිරත්න – 4/16]

බදුරලිය අවුරුදු 23න් පහල කණ්ඩායමට ලකුණු 254ක ජයක්


ගුවන් හමුදා 23න් පහල ක්‍රීඩකයන් BRC 23න් පහල කණ්ඩායම සමග තරග වැදුණේ, කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගනයේදී. කාසියේ වාසිය දිනූ ගුවන් හමුදාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් BRC කණ්ඩායමට පන්දුවාර 24ක් තුළ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 90ක් පමණයි.

දිලිප් තාරක ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත් අතර, උමේන්ද්‍ර, මිලාන් සහ මෙන්ඩිස් ඉතිරි කඩුලු හයේ අයිතිය සමව බෙදා ගන්නා ලදී.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුවන් හමුදා 23න් පහල ක්‍රීඩකයන් කඩුලු 3ක් දැවී ලකුණු 91ක් ලබාගෙන තරගය ජයගත්තේ පන්දුවාර 22ක් පමණක් වැය කරමිනි. නායක උදයවංශ පරාක්‍රම නොදැවී ලකුණු 27ක් රැස් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යන ලදී.

ලකුණු පුවරුව

BRC අවුරුදු 23න් පහල කණ්ඩායම – 90/ සියල්ලන් දැවී (24) – [දිලිප් තාරක – 4/10, M S මෙන්ඩිස් – 2/14, හේෂාන් උමේන්ද්‍ර – 2/28, මිලාන් ප්‍රියන්ත – 2/32]

ගුවන් හමුදා අවුරුදු 23න් පහල කණ්ඩායම – 91/3 (22) – [උදයවංශ පරාක්‍රම – 27*, විශ්ව චතුරංග – 24, ලසිත් ලක්ෂාන් – 2/23]

ගුවන් හමුදා අවුරුදු 23න් පහල කණ්ඩායමට කඩුලු 7ක ජයක්.